පළාත් පාලන හා අනිත් ක්ෂේත්‍රවල අත්හිටුවා තිබු ව්‍යාපෘති ජපන් ආධාර යටතේ නැවත ඇරඹීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2024.07.25 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යංශය මගින් ක්‍රියාත්මක විශිෂ්ට කාර්ය සාධනයක් අත්කරගත් පළාත් පාලන ආයතන ඇගයීමේ ජාතික ස්වර්ණ පුරවර ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

පළාත් පාලන ආයතන වල කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් ’කාර්ය සාධනය ඉහළ නැංවීමේ හා තහවුරු කිරීමේ මෙවලම’ ආශ්‍රයෙන් සිදු කරන ලද ඇගයීමේ ප්‍රතිඵල අනුව මෙම සම්මාන ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

අපට ඉතිහාසය පුරා උරුම වෙන්නේ රටේ පැවැත්මට හා රටේ දියුණුවට ආදර්ශයක් විය හැකිව තිබූ වැඩපිළිවෙළක්. ඈත පුරාණයේ අනුරාධපුරයේ ශතවර්ශ පහළොවකටත් එහා ගම්සභා ක්‍රමය තිබිලා තියෙනවා. ඒ ක්‍රම වලින් විවිධ ක්ෂේත්‍ර හා ජනතාවගේ දියුණුව හා ආරක්ෂාව පිණිස වැඩ කළා. අපේ රටේ ජල බැස්ම තීරණය වෙලා තියෙන්නේ ශත වර්ෂ ගණනාවකට පෙරයි. එදා ඒ ඇළ දොළ හරහා ඇති කළ සැකැස්ම ඒ ආකාරයෙන්ම ආකාරක්ෂා කරන්නට කාලයෙන් කාලයට අපේ ග්‍රාමීයව තිබුණු පාලන තත්ත්වයන්ට පුළුවන් වුණා.

අපේ රටේ පාලන තන්ත්‍රයේ පහළම ක්ෂේත්‍රයේ මහජන සහභාගිත්වය ලෙස අපි ඇති කරගෙන තිබෙන්නේ පළාත් පාලනයයි. මහජනයාගේ සහභාගිත්වයෙන් නගරයෙන් නගරයට හෝ ප්‍රාදේශීය සභාවෙන් ප්‍රාදේශීය සභාවට ඇතිකළ හැකි දියුණුව සියලු දෙනාම පිළිගන්නවා. මෙම සම්මානයන් දිනාගන්නා පළාත් පාලන ආයතන යම්කිසි ආදර්ශයක් එකතු කරනවා. සහභාගිත්වය සඳහාම නෙවෙයි, අලුත් ආදර්ශයකින් තමන්ගේ පළාත් පාලන ආයතන විවිධ වූ නිශ්චිත කාර්යය ඉටුකර තිබෙන බව මේ සම්මානයෙන් ගම්‍යවනවා.

පළාත් පාලන පාලන තන්ත්‍රයේ මැදිහත්වීම, අලුත් දෑ ඇති කර ගැනීමට හැකි උත්සාහය, පාලන තන්ත්‍රයන්ට අලුත් දෑ එකතු කර ගැනීම සඳහා ඇති ක්‍රියාවලිය අපි මෙලෙස ගෞරවයෙන් සිහිපත් කරනවා. අඩුපාඩුකම් රැසක් තියෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් පළාත් පාලනයේ සංවර්ධනය දියුණුව සඳහා මුදල් ප්‍රතිපාදන පළාත් සභා හරහා ලබාදීමේ ක්‍රියාවලිය නැවතුනේ නැහැ.

අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නැති මූල්‍ය ආර්ථික අර්බුදයකට අපි මුහුණ දුන්නේ අවුරුදු දෙකකට පෙර. මේ අර්බුදයෙන් අපට ගොඩ එන්නට තිබුණු තත්ත්වය භාරගනිමින් ජනාධිපතිතුමා අලුත් ආණ්ඩුවක වැඩපිළිවෙලක් ඇති කළා. ඔබේ පළාත් පාලන කාර්යාලයේ දොරටුව ඉදිරියට ඇවිත් මහජනතා ව පෙට්‍රල් ටික භූමි තෙල් ටික ලබා දෙන්න කියලා ඉල්ලන කාලයක් තිබුණා. දැන් ඒවා එකක්වත් අපිට සිහිපත් වෙන්නේ නැහැ. ඒ අමාරුම කාල පරිච්ඡේදය රජය මගින් ජයග්‍රහණයට පරිවර්තනය කරලා තියෙනවා. ක්ෂේත්‍ර රාශියකින් අප සහ ලෝකයාව ඉදිරියට ගෙනියනවා. තාක්ෂණයේ දියුණුව දැනුම හුවමාරු කර ගැනීමේ කෙටි මාර්ග ඇති වෙනවා. මේ නිසා අලුත්ම සමාජයකට අපි පිවිසෙන මොහොතක් සඳහා සූදානම් විය යුතුයි. එසේ සූදානම් වීමට පළාත් පාලන ආයතන සියල්ලටම ලබා දිය හැකි නව සහයෝගයන් ලබා දෙන්න රජය පැකිලෙන්නේ නැහැ.

ලංකාවේ වැඩිම පළාත් පාලන ආයතන වලට උදව් වෙලා තියෙන්නේ ජපානය. ජපන් ආධාර අත්හිටුවා තිබුණු කාලය ඉවර කරලා අද සිට ජපන් ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘති පළාත් පාලන හා අනිත් ක්ෂේත්‍රවල ආරම්භ වෙනවා. අභියෝගාත්මකව ඉවසීමෙන් ඒ වෙනුවෙන් අපි ගමන් කළා. රාජ්‍ය නායකත්වය ඒ වෙනුවෙන් ලබාදුන් හයිය, ශක්තිය ඉදිරියට ගෙනියන්නට හැකිවීම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල ජයග්‍රහණයක් ලෙස සලකන්නට පුළුවන්.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා -

ලංකාව පුරා පළාත් පාලන ආයතන 341 ක් තිබෙනවා. එයට මහ නගර සභා 24,නගර සභා 41,ප්‍රාදේශීය සභා 276 ඇතුලත්. පළාත් පාලන ආයතන හරහා සිදුකරනු ලබන සුවිශේෂි සේවාවන් ජනතාව වෙතට යොමු කිරිමේදී එම ආයතනයන්හි කාර්යක්ෂමතාව හා වගකිම කුමන ආකාරයට සිදු කර ඇත්ද යන්න අගයමින් මෙම ස්වර්ණපුරවර සම්මානය පිරිනමනවා.

නගරය පිරිසිදුව තබා ගැනිමට විශාල කාර්යභාර්යක් මෙම පළාත් පාලන ආයතන හරහා සිදු කරනවා. යම් සම්මානයක් තම ආයතනයකට ලැබෙනවා නම් එහි ගෞරවය එම ආයතනයේ පහලම කම්කරුවාටත් හිමිවිය යුතුයි. කොවිඩ් වසංගත කාලයේදි මෙම ආයතන ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩකටයුතු කලා. ඩෙංගු වැනි වසංගත තත්වයන් ඇතිවූ අවස්ථාවන්හිදි පෙරමුණ ගෙන කටයුතු කරනු ලබන්නේ මෙම ආයතන වල සේවයේ යෙදෙන නිලධාරින්. ඔවුන්ව දිරිමත් කිරිම සදහා මෙවැනි වැඩසටහන් වාර්ෂිකව ක්‍රියාත්මක කල යුතුයි. එමෙන්ම මේ ලබා ගත් ස්ථානය ඉදිරියටත් පවත්වා ගෙන යෑමටත් කුසලානයක් නොගත් ආයතන ඉදිරයේදී සම්මානයක් ලබාගැනිමටත් කටයුතු කල යුතුයි.

ආණ්ඩුකාරවරුන් වන රොෂාන් ගුණතිලක, නසීර් අහමඩ්, ඒ.ජේ.එම්. මුසම්මිල්, සෙන්තිල් තොණ්ඩමන්, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, සිසිර ජයකොඩි, ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, සමන්ප්‍රිය හේරත්, යදාමිණී ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සුදත් මංජුල, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, පළාත් පාලන ආයතන නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය