කවුරු ආණ්ඩු ගත්තත්, කවුරු ආණ්ඩු කරත් ඉතාම අමාරු කාලපරිච්ඡේදයකට අපි මුහුණ දෙමින් සිටිනවා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2024.05.20 දින පූජපිටිය, දිවානවත්ත. ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ මෙත් බෝසත් පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

"බ්‍රිතාන්‍ය පාලකයින් අපේ රට එදා බලහත්කාරයෙන් යටපත් කළා. අපේ අනන්‍යතාවය නිදහස නැති කළා. අපේ ගම්බද නායකයෝ උඩරට නායකයන් එදා ඇති කළ මහා සටන නිසා අපේ රටට නිදහස උදා කිරීමේ ගමන ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන්කම ලැබුණා.

ශ්‍රී ලංකාවට තියෙන්නේ නිදහස යළි දිනාගත් රටක තිබෙන අභිමානයක්. එතන පටන් රටක් යළි ගොඩ නගන්න ඕන. රට වැසියා වෙනුවෙන් යළි හිස ඔසවන්න ඕනේ. දුෂ්කර අභියෝග ජය ගනිමින් ඉදිරියට ආ ශාසනික ඉතිහාසයක් අපට තිබෙනවා.

අද ජීවත් වෙන පරම්පරාවටත්. මතු ජීවත් වන පරම්පරාවටත් බුද්ධ ධර්මයේ අවබෝධය ගැඹුරු හැදියාව සාක්ෂාත් කර ගත හැකි මග පෙන්වීමක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට ගෙන යාමට සහ එය අවබෝධ කිරිම පිණිස කටයුතු කිරීමේ මග පෙන්වීමක් අවශ්‍ය වී තිබෙනවා. අපේ ගම්මාන වල බුදු දහමේ ගැඹුරු ආශිර්වාදයෙන් ජීවත් වන පරම්පරාවක් හිටියා. හෙලිකොප්ටර් වලින් කෑම ගේනකන් බලන් හිටියේ නැහැ. ගමේ ගොවිතැන් කරපු දෙයක් එකතු කරගෙන කරත්තෙක දාගෙන ගිහින් ආර්ථිකය හොයාගත්තා. ඒ පරාර්ථකාමය බුදු දහමෙන් තැන්පත් වූ උතුම් දායාදයයි. එය තැන්පත් වූයේ මිනිස් සමාජය ගොඩනැංවූයේ බුද්ධ ධර්මය මතයි. උත්තුංග ගුණධර්මයන් ගෙන් හැදුණු ශිෂ්ඨාචාරයකින් අපේ ජාතිය එලෙස ගොඩනැගුණු බව ඔබ දන්නවා.

අපේ රට අමාරු තත්ත්වයක තිබෙනවා. කවුරු ආණ්ඩු ගත්තත් කවුරු ආණ්ඩු කරත් ඉතාම අමාරු කාලපරිච්ඡේදයකට අපි මුහුණ දෙමින් සිටිනවා. ලෝකයත් එසේමයි. මහා බලවතුන් පවා කොහොම ජීවත් වෙනවද කියලා දන්නේ නැති තත්ත්වයකට අද ලෝකය පැමිණ තිබෙනවා.

එදා අභියෝග හරහා ගමන් ගත් වීරයින් නිසා රටක් හැටියට අනන්‍යතාවයක් රැකගෙන ඒකීය ජාතියක් තුළ සිංහල බෞද්ධකම ආරක්ෂා කර ගැනීමට හැකි වුණා. අද ඒ සියල්ල රැතගෙන ආර්ථිකය ගොඩනැංවීමේ අභියෝගය ජයගත යුතුයි."

උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශ්වයේ අභිනව මහානායක ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වත්තේගම ධම්මාවාස හිමි ඇතුළු මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රංජිත් බණ්ඩාර, යදාමිණී ගුණවර්ධන, ඉන්දීය සහකාර කොමසාරිස් ආතාරා එස්, රාජ්‍ය නිලධාරීන්, දායක දායිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය