ශෝක පණිවුඩයයි

"මගේ රටට දළදා හිමි සරණයි.. මගේ දැයට දළදා හිමි සෙවණයි"

මේ සදාතනික ගීතය ඇතුළු සුභාවිත ගීත රාශියක් මියුරු සරින් සමාජගත කරමින් හෙළ සංගීත කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අභාවය මෙරට සංස්කෘතික වපසරිය තුළ පිරිමැසිය නොහැකි විසල් හිඩසක් වනු ඇත.

සකල සංගීත ශිල්පයන්ගෙන් පෝෂිතව සංගීතවේදියකුව ගායනයේ, සංගීත අධ්‍යක්ෂණයේ කෙළ පැමිණි ඔහු ගී පද රචකයෙකු ලෙසද පරිණත සටහන් තබා ඇත.

සමාජශෝධනය හා සමාජ ප්‍රගමනය උදෙසා නිර්මාණ දායක කොටගත් ඔහු සිය නිර්මාණයක් තුළින් මතු පරපුරකට ආමන්ත්‍රණය කලේය.

මේ අසහාය කලා ශිල්පීයාගේ අභාවය හේතුවෙන් සංවේගයට පත් ආදරණීය බිරිද මල්කාන්ති නන්දසිරි මහත්මිය, දියණිය අනුරාධා නන්දසිරි මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්, ඥාති හිතමිත්‍රාදීන්, කලා ශිල්පීන්, රසික ජනතාව මෙන්ම සහ සම්බන්ධිත සැමට සංවේගය පළ කරමි.

දැයක් සංගීත සුභාවිතයෙන් එකලු කළ සනත් නන්දසිරි සූරීන්ට නිවන් සුව පතමි.


දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2023 මාර්තු මස 30 දින