පාසල් ජීවිතය හමාර කරන දරුවන්ට වෘත්තියක සුදුසුකමකට අවස්ථාව සලසා දීම අපේ රජයේ ප්‍රකාශිත විශේෂ වැඩසටහනක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2024.07.25 දින මහරගම තරුණසේවා සභාවේ පැවැති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

මේ ආරම්භ වන්නේ දරුවන්ට අනාගතය පිළිබඳ අලුත් විශ්වාසයක් ජනිත කළ හැකි ව්‍යාපෘතියක්. මහරගම පාසල් පද්ධතියෙන් පිට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ අවස්ථාව ලබාදීම සඳහා තරුණ සේවා සභාව ලබාදුන් සහයෝගය සහ පහසුකම් අගය කරනවා.

පිළිගත හැකි වෘත්තියක සුදුසුකමකට අවතීරණය වීම අමාරුයි. අපි මුහුණ දෙන අනාගත ලෝකය වර්තමානයේ සිට බොහෝ දුරට පැතිරී යන්නේ තොරතුරු තාක්ෂණය ඔස්සේයි. ඊට අවශ්‍ය මෙවලම් හසුරු විය හැකි පරම්පරාවක් බිහි කරදීම අපේ වගකීමක්. පාසල් ජීවිතය හමාර කළාට පස්සේ දරුවන්ට වෘත්තියක සුදුසුකමකට අවස්ථාව සලසා දීමේ අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අපේ රජයේත් ප්‍රකාශිත විශේෂ වැඩසටහනක් හැටියට දෙදහස් විසි හතරට අන්තර්ගත කරනවා. ඒ අනුව මූල්‍ය ප්‍රතිපාදන මන්ත්‍රීවරුන්ට වාර්ෂිකව ලබාදෙනු ඇති. මුදල් ප්‍රතිපාදන, පුහුණු පාඨමාලා සහ පහසුකම් ඒකාබද්ධ කරගනිමින් අද ඔබට ඒ අවස්ථාව ලබා දෙනවා.

මම මහරගම මන්ත්‍රීවරයා හැටියට අවුරුදු හතළිහක් කිට්ටු වෙන්න ඉඳලා තියෙනවා. තරුණසේවා සභාව විවෘත කරන්න හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා පැමිණෙන අවස්ථාවේදී මම එතන හිටියා. එදා යෞවන කටයුතු හා අධ්‍යාපන අමාත්‍යවරයා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඒ අවස්ථාවේදී තරුණ සේවා සභාව මගින් රටේ දරුවන් වෙනුවෙන් විවිධ පාඨමාලා දායාද කළා.

මහරගම මන්ත්‍රීවරයා හැටියට ලැබෙන මේ ප්‍රතිපාදන සංවර්ධනයටත්, පුහුණු දැනුම, අධ්‍යාපන දැනුම වැඩි කර ගැනීමටත් හැකි ක්ෂේත්‍රවලට ලබාදීමට පුළුවන් කම ලැබුණා. උසස් පෙළ, සාමාන්‍ය පෙළ වැනි අවස්ථාවන්වලින් බැහැරවන දරුවන්ට මේ සඳහා එක්වන්න ඉඩකඩ අවශ්‍ය පුහුණු පාට මාලාව සමග සුදුසුකමක් ඇති පිළිගත හැකි පාඨමාලාවකින් ඔබ ශක්තිමත් විය යුතුයි.

දැනුම තරම් සම්පතක් අපේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. අපේ අභිප්‍රාය වන්නේ ඔබ සුදුසුකම් ඇති පිරිසක් බවට පත් කිරීමයි. මේ තුළින් පුහුණුව වගේම පිළිගත හැකි සහතික ජාතික ජාත්‍යන්තර වශයෙන් හිමිවෙනවා. ප්‍රකාශිත වැඩපිළිවෙල අනුව ලංකාවේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම හැම දරුවෙකුටම ලබාදීම රජයේ අරමුණයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය