වගකීමක් නැති ප්‍රකාශ වලින් රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ දෙන්නෙ නැහැ... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්වෙනවා...

සෙනඟ දැකලා කිසිම දේශපාලන තීරණයක් ගන්නේ නැහැ. කලබල කරන්නේ හෝ රිවස් කරන්නේ නැහැ. ඉදිරියට යනවා...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට අද (2024.05.29) එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

අද දිනය අපේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ සාහිත්‍යය ශූරීන් වෙනුවෙන් විශේෂිතයි. අපේ රටේ සාහිත්‍යයේ අභිමානය වගේම සාහිත්‍යය, භාෂාව, සහ සමාජ විද්‍යාවට අලුත් අවදි කිරීමක් කළේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්. අපේ රටේ සෑම පුරවැසියෙක්ටම දෙනතින් දැක ගත හැකි වන පරිදි මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රීමතානන්ගේ එකතුවේ පැවැති සාහිත්‍ය කෘති ජාතික පුස්තකාලයට භාර දෙන අවස්ථාවේ එම වස්තු සම්භාරය ගොඩනගපු අපේ මහා සාහිත්‍යවේදීයානන් ගෞරවයෙන් සිහිපත් කරනවා. මෙම වස්තු සම්භාරය රටේ සැමදෙනාට පැමිණ ප්‍රයෝජනයකට පරිවර්තනය කළ හැකි ආකාරයට සකස් කිරීමේ ක්‍රියාවලියට ජාතික පුස්තකාලය මින් ඉදිරියට උර දෙනු ඇති.

අපේ රටේ, ජාතියේම ආඩම්බරයක් වූ මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාගේ පවුලේ අය මෙතෙක් කල් ආරක්ෂා කර අද දිනයේ මෙය මතු පරම්පරාවට ප්‍රයෝජනයකට පරිවර්තනය කළ හැකි ලෙස ජාතියටම භාරදීම අතිශයින් වැදගත් සහ ඒ වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරනවා. පවුලේ අය මෙතෙක් මෙම වස්තුව ආරක්‍ෂා කිරීමට ඉටු කළ කාර්යයට වඩා කාර්යයක් මෙතනින් ඉටුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අසමසම සාහිත්‍යවේදියෙක්. ලෝකයේ සාහිත්‍යවේදීන්ගේ කේන්ද්‍රස්ථාන උල්පත් තිබෙන රටවල් වල එතුමාට හිමිවන්නේ අතිමහත් ගෞරවයක්. මෙම පුස්තකාලය එලෙස අද දිනේ එක්වන අවස්ථාව අපේ රට වැටියාට වගේම ජාත්‍යන්තරවද සුවිශේෂයි.

එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ගැටළු වලට පිලිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා -

පවතින වාතාවරණය තුල මැතිවරණය පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්ද?

මැතිවරණය ගැන දැනටමත් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරල තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන්නට පුළුවන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස දෙක අතර එය සූදානම් කරන බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ බව ආණ්ඩුවත් ප්‍රකාශ කර තිබෙනවා.

මැයි දිනයේ සෙනඟ දැකලා ආණුඩුව මැතිවරණය කල් දාන්න උත්සහ කරනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?

සෙනඟ දැකලා කිසිම දේශපාලන තීරණයක් ගන්නේ නැහැ. කලබල කරන්නේ හෝ රිවස් කරන්නේ නැහැ. ඉදිරියට යනවා මිස.

ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ දවසේ රාත්‍රියේ ඉඳලා අපි ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ස්ථාපිත කිරීමට පියවර ගත්තා. පාර්ලිමේන්තුව වහලා දාලා විනාශ කරන්න හදපු පිරිස පලවා හැරලා, රටේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගුවා. ඒක අමතක කරන්න එපා. ඒ ගොඩනැගුවේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොවෙයි. උත්තරීතර පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන වරම ඉදිරියට ගෙන යමින් රටේ දියුණුව සඳහා පිළිගත් මැතිවරණ නීතිය අනුව කටයුතු කළා. මැතිවරණ නීති වෙනස් කරන්න නම් අනුගමනය කරන්න තියෙන බොහොම අමාරු තුනෙන් දෙකක ක්‍රමවේදයක් තිබෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට ලබන අගෝස්තු වෙනකන් යන්න පුළුවන්. අවශ්‍ය නම් ඉක්මනින් ගෙදර යන්නත් පුළුවන්. එහෙම නැත්තම් තමන්ටම කියන්න පුළුවන් අපිට ගෙදර යන්න ඕනේ කියලා. එහෙම යන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රමයක් තියෙනවා. ජනාධිපතිවරණයට පස්සේ මහ මැතිවරණය. පසුව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ එකටම පවත්වන්න අවධානය යොමු වෙලා තිබෙනවා.

වගකීමක් නැතුව ඇතැමුන් විවිධ දේවල් ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ කිසිම අවස්ථාවක, කිසිම සාකච්ඡාවක නොකෙරුණු දෙයක් ගැන හදිස්සියේ ප්‍රකාශ කරලා, වගකීමක් නැතුව රට කලඹන්න කටයුතු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවකින් ඉඩ දෙන්නෙ නැහැ කියන එකයි මම රටවැසියාට කියන්නේ.

මැතිවරණ කැඳවීමේ බලය තිබෙන්නේ ආණ්ඩුවටද? මැතිවරණ කොමිසමටද?

ජනාධිපතිවරණය කැඳවීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත අනුව. කලින් කැඳවන්නත් බැහැ. පස්සෙ කැඳවන්නත් බැහැ. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවරව තැන්පත් කරලා තියෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම දින නියමයන් අනුව මැතිවරණය නියමිත පරිදි පවත්වයි.

පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා නේද?

පාර්ලිමේන්තුව විසුරුවන්න මීට පෙරත් ජනාධිපතිවරුන්ට වරම තිබුණා. තමුන්ගේම ආණ්ඩු තිබුණු ජනාධිපතිවරු දිනන්න පුළුවන් කියලා හිතාගෙන ආණ්ඩු විසුරුවල පැරදිච්ච අවස්ථා අපි දැක්කා. පක්ෂයටත් විරුද්ධ පක්ෂයට යන්න වුණා. ඊට ඕන තරම් උදාහරණ තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවක් අවුරුදු දෙකහමාරකට පසුව ජනාධිපතිවරයාට විසුරුවන්න අවස්ථාව හිමි වෙනවා.

අභියෝග මධ්‍යයේ අපේ පාර්ලිමේන්තුව බොහොම ඉවසීමෙන් ගමන් කරනවා. මතභේදත් තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. පාර්ලිමේන්තුව තවදුරටත් කටයුතු කරන්න බැරි නම් ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව වි සුරුවන්න. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළොත් ඒත් ජනාධිපතිතුමාට විසුරවන්න පුළුවන්. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි කාලය ඉවර වෙන්නේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. සුනිල්, හිටපු රාජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, මහාචාර්ය ජේ.බී.දිසානායක, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය පද්මලාල් එන්. මානගේ, ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය