ප්‍රතිපත්තිගරුකව ඵලදායි සේවාවක් රටට ලබාදෙන්න... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නව පත්වීම්ලාභී රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලයි.

අග්‍රමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය සමත් වූ 43ක්ට හා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයෙන් සමත් ව මෙතෙක් තනතුරු සඳහා යොමු නොකළ අටදෙනෙක්ට පත්වීම් ප්‍රධානය කිරීම සදහා 2024.07.15 දින අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයට එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

රාජ්‍ය සේවයේත්, ක්‍රමසම්පාදන සේවාවේත් තරඟ විභාගවලින් සමත් රාජ්‍ය සේවයේ ජ්‍යේෂඨටයින් ලෙස ඉහළට ගමන් කිරීමේ අවස්ථාවකට ඔබ පැමිණ තිබෙනවා. ඔබේ සේවාව රටට අත්‍යවශ්‍යයි. රාජ්‍ය සේවාව හා ක්‍රම සම්පාදනය කියන ගැඹුරු වචන මතයි රටේ අනාගතය තීරණය වෙන්නේ. අනාගතය තීන්දු කිරීමට ජනතාවත්, ඔබත්, රාජ්‍ය පාලනයේ මහජන නියෝජිතයින්ගේ ආණ්ඩුවත් අතර ඉතා හොඳ අවබෝධයක් තිබීම අවශ්‍යයි. අනාගතයේදී ප්‍රතිපත්තිගරුකව ඵලදායි සේවාවක් රටට ලබාදෙන්න.

රාජ්‍ය ජානක වක්කුඹුර මහතා

රාජ්‍ය සේවය ශක්තිමත් රටේ ජනතාවට ඉතා හොඳ සේවාවක් ලබා දෙන්න ඔබට පුළුවන්. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කරලා තිබුණත්, අපි අත්‍යවශ්‍ය කාරණා ඉටු කළා. මේ වන විට උපාධිධාරීන්,බහු කාරය නිලධාරීන්ට, ගුරුවරුන්ට , හෙද කාර්ය මණ්ඩලයට, වගේ අත්‍යවශ්‍ය සේවා සදහා තනතුරු ලබාදී සේවය ස්ථිර කර තිබෙනවා.

විශ්‍රම යාමට පෙර රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත්වෙන පිරිස අඩුවෙලා. ඒ අඩුව පුරවන්න අපි කටයුතු කළා. අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා අවශ්‍යතාවය මත බඳවා ගැනීම් කිරීමේ කමිටුවක් අග්‍රාමාත්‍ය ලේකම්වරාගේ ප්‍රධානත්වයෙන් පත්කර පත්වීම් දීමේ බලය පවරලයි තතියෙන්නේ. ඔබ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිකරලා ජනතාවගේ කටයුතු පහසු කරන්න. ඔබේ ආයතනයට කවුරු හරි ආවම කඩිනමින් සේවය ලබා දෙන්න. ඒකයි ඔවුන් රාජ්‍ය සේවකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය සේවය දිනපතා උද්ඝෝෂණ කරන්න ගියොත් මේ දේශපාලනඥයෝ නෙවෙයි. රටේ ජනතාවයි පීඩාවට පත්වෙන්නේ.

අපේ අග්‍රාමාත්‍යතුමා රජයේ සේවකයා වෙනුවෙන් වැඩක් කරන්න තියෙනවනම් කිසිම පැකිලීමකින් තොරව ඒ දේ කරනවා. මේ පත්වීම් කඩිනමින් ලබා දෙන්න හැකි වුනෙත් එතුමාගේ කැපවීම නිසයි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් අත්හිටවලා තිබුණා. තවමත් ඒ ප්‍රතිපත්තිමය තීරණයෙන් රජය බැහැර වෙලා නෑ. පරිපාලන සේවා තරග විභාගයට සහභාගි වී සුදුසුකම් ලත් නිලධාරීන් ගේ සේවය නිශ්චිත අරමුණකට යොදවා ගැනීම අත්‍යවශ්‍යයි කියන මතය අග්‍රාමාත්‍යතුමා කමිටුවට දැනුම් දුන්නා. රජයේ ප්‍රධානතම වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේදී මෙම තනතුරුවල හිඟය බලපාලා තිබෙන නිසා ඒ සඳහා විශේෂ අනුමැතියක් ගන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමැතියකින් පසුවයි ඔබතුමන්ලාගේ පත්වීම් සිදුවෙන්නේ.

රටේ ආර්ථික ක්‍රියාවලියේ පසුබෑම, ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාවලිය, ආහාර සුරක්‍ෂිතතාවය සහ ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරගන්නශ්‍රී ලංකා පරිපාලන සේවය තුන්වන ශ්‍රේණියේ නිලධාරීන්ගේ හිඟය බලපාලා තියෙන බව අපි පෙන්වා දුන්නා. දීර්ඝ කාලීන යුද්ධය, කොවිඩ් වසංගතය සමඟ ඇති වූ ආර්ථික අර්බුදය, ඉදිරියේ ස්ථාපිත වීමට තිබෙන නව රජය වැනි සියල්ල හමුවේ ඔබ පූර්ණකාලීව රාජකාරියේ යෙදෙන විට ඔබ හමුවේ අලුත් න්‍යාය පත්‍රයක් සහිතව විශාල වගකීම් සමූහයක් තිබෙනවා. අනෙකුත් කාර්ය මණ්ඩලය මෙහෙයවමින් අපේක්‍ෂිත සංවර්ධන ඉලක්කවලට යොමු වීම ඔබේ වගකීමක්. රාජ්‍ය සේවයේ අනාගත කළමනාකරුවන් වශයෙන් ඉදිරි දැක්මක් සහිතව ඔබට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, සංවර්ධන පරිපාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හා ශ්‍රී ලංකා සැලසුම් සේවයේ පත්වීම් ලාභීන් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය