’සවිමත් අනාගතයට පෙරවදනක් - 2024’ දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු සමග විශේෂ සාකච්ඡාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් අද (15) කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණී.

2024 අයවැයෙන් යෝජනා කළ ප්‍රධාන වැඩසටහන් පහක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාව ට බඳුන් කෙරිණි.

ඒ අනුව අස්වැසුම වැඩසටහන, සින්නක්කර ඔප්පු බෙදා දීමේ උරුමය, විමධ්‍යගත අයවැය, කඳුකර දශකය යන වැඩසටහන් සම්බන්ධයෙන් පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් සමග පවතින ගැටලු සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වීය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබ අත්දැකිම් සමුදායක් හරහා ඉදිරියට පැමිණි පිරිසක්. මෙම ස්ථානයේ සිටින්නේ අත්දැකීම් තිබෙන රාජ්‍ය නිලධාරීන් පිරිසක්. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් වශයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ තීරණ, සැලසුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින කණ්ඩායමක් බව ද කිව යුතුයි. අද ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වය තුළින් රට ඉදිරියට ඇවිත් තිබෙනවා. සංඛ්‍යාත්මකව හා ඵලදායීව රට ස්ථාවරත්වය කරා පැමිණීම රාජ්‍ය නිලධාරීන් වශයෙන් ඔබටත් ආඩම්බර විය හැකියි.

අද රටට විශාල වශයෙන් විදේශීය සංචාරකයන් පැමිණෙමින් සිටිනවා. වෙනදාට වඩා ග්‍රාමීය ප්‍රදේශවලට සංචාරකයෝ ගමන් කරනවා. රට කෙරෙහි විශ්වාසයක් ඔවුන්ට ද ඇතිව තිබෙනවා. රට යළිත් ගොඩනැගීමට රාජ්‍ය යන්ත්‍රයේ සහයෝගය ජනාධිපතිතුමාට ලැබී තිබෙනවා. කිසි පෙදෙසක් අත් නොහැර ගමේ ප්‍රශ්න විසඳන්න ඔබ සැමගේ සහාය අවශ්‍යයි. අවිහිංසාවාදීව රාජ්‍ය පාලනය ගෙන යෑමේ වගකීම ද ඔබට පැවරී තිබෙනවා.

රට බොහෝ වෙනසකට භාජනය වෙලා තිබෙනවා. මන්ත්‍රීවරුන් පාලනයේ කොටස්කරුවන් වීම නිසා වසර දෙකකට පෙර විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ගැටුම්, හිංසාවලින් තොරව අවිහිංසාවාදීව පාලන තන්ත්‍රය මෙහෙයවිමට ප්‍රාදේශීය ලේකම්වරු බැඳිසිටිනවා. එදා 71 කැරැල්ලේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට පලා යෑමට සිදුවුණා. ඒක තමයි ඇත්ත. මෙදා මන්ත්‍රීවරයෙකුට ජීවිතය පූජා කරන්න වුණා. එදා සේරුවිල ප්‍රාදේශීය ලේකම්ගේ ඝාතනය වැනි සිදුවීම් වුණා.

සාමකාමී හා ගැටුම්කාරී ගමනක වෙනස රාජ්‍ය නිලධාරීන් හඳුනනවා. රටක සේවාවන් පවත්වාගෙන යාමට, රටක් දියුණු කිරීමට යන ගමනට එය බලපානවා. අද වෙනකෙට රට යළි ගොඩනගන්න දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම්වරු මුහුණ දුන් ප්‍රශ්න පියවරෙන් පියවර විසදීමට සාකච්ඡා ඇති කොට තිබෙනවා. ඒ සාකච්ඡා තුළින් ඔබ මුහුණ දෙන ප්‍රශ්න පියවරෙන් පියවර විසඳීමට රජයක් විදිහට බලාපොරොත්තු වෙනවා. මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඔබලාට විශාල බලයක් පැවරී තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති අවංකවම ක්‍රියාත්මක කිරීමේ ශක්තිය සහ අධිෂ්ඨානය ඇති කරගෙන රටේ සංවර්ධනයට දායක වෙන ලෙස ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු අමාත්‍යාංශ ලේකම් වරු, රාජ්‍ය නිලධාරීන්,දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය