කෘත්‍රිම බුද්ධි (AI) අධ්‍යාපනය ඒකාබද්ධ කිරීම මඟින් නවතම මයික්‍රොසොෆ්ට් ව්‍යාපෘතියක් පාසල් විෂය නිර්දේශයට ...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් අධ්‍යාපන හා සමාජ ප්‍රතිලාභ ක්ෂේත්‍ර සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමේ දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රසාදය පළ කරයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මයික්‍රොසොෆ්ට් ඉන්දියා සහ දකුණු ආසියා සභාපති පුනීත් චන්දොක් (Puneet Chandok) ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් 2024.03.19 දින කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

පුනීත් චන්දොක් මහතා පසුගිය දශක දෙක තුළ මයික්‍රොසොෆ්ට් ආයතනයේ ශ්‍රී ලංකාවේ ගමන්මඟ, පිළිබඳ අග්‍රාමාත්‍යවරයාට විස්තර කළේ, පසු කළ සන්ධිස්ථාන, සිදු කළ ආයෝජන, හා දේශීය ආර්ථික, තාක්ෂණික අංශය, සහ සමාජීය ප්‍රතිලාභ සම්බන්ධ සමස්ථ බලපෑම කෙරෙහි අවධානය යොමු කරමිනි. තරුණ පරම්පරාව අනාගත අභියෝග සඳහා සූදානම් කිරීම අරමුණු කරගෙන කළ කෘත්‍රිම බුද්ධි (AI) අධ්‍යාපනය ඒකාබද්ධ කිරීම මඟින් ජාතික පාසල් විෂය නිර්දේශය වෙනස් කිරීමේ සිය නවතම ව්‍යාපෘතිය පිළිබඳ ව ද ඔහු පැහැදිලි කළේ ය. මෙම නියමු වැඩසටහන දැනට පාසල් 20ක ක්‍රියාත්මක ව පවතී.

කෘත්‍රිම බුද්ධි අධ්‍යාපනය ජාතික පාසල් විෂය නිර්දේශයට හඳුන්වාදීම පිළිබඳ මයික්‍රොසොෆ්ට් ආයතනයට අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පුද කළේය.

මයික්‍රොසොෆ්ට් සමාගම ඉදිරි වසර 20ක කාළය තුළ ලංකාවේ අඛණ්ඩ ව බලගැන්වීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනයේ දැක්ම සහ උපාය මාර්ගික සැලසුම්, තාක්ෂණ හුවමාරුව, නවෝත්පාදන, සහ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් පිළිබඳ නියෝජිත පිරිස මෙහිදී අවධානය යොමු කරනු ලැබීය. මතුවෙමින් පවතින නව තාක්ෂණය , ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සංවර්ධනයේ විභව ක්ෂේත්‍රයන්හී ශ්‍රී ලංකාව කලාපීය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමට මයික්‍රොසොෆ්ට් සමාගම සහාය සැලසුම් කරන ආකාරය පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡා කළහ.

මයික්‍රොසොෆ්ට් නියෝජිත පිරිසට මෙරට කළමණාකරු හර්ෂ රන්දෙණිය, දකුණු ආසියානු ප්‍රධානී සමික් රෝයි (Samik Roy), ප්‍රාදේශීය අධ්‍යාපන ප්‍රධානී ලැරී නෙල්සන් සහ කාර්යාංශයේ ප්‍රධානී සක්රි ශේනු ඇතුළත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ මාධ්‍ය උපදේශක සුගීස්වර සේනාධීර යන අය මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය