නව පකිස්ථාන මහ කොමසාරිස් අගමැති හමුවෙයි

නව පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් (Faheem ul Aziz) මහතා මාර්තු 15 වන දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

අලුතින් තේරී පත් වූ පකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි (Asif Ali Zardari) සහ අගමැති ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) වෙත එවන ලද ආශිර්වාද සහ සුබ පැතුම් පිළිබඳව මහ කොමසාරිස්වරයා අගමැතිවරයාට ස්තූතිය පළ කළේ ය.

ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සහ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට පුහුණු පහසුකම් ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා පාකිස්ථානයට ස්තූතිය පුද කළේය.

ආර්ථික, ආයෝජන, සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ඔහු සාකච්ඡා කළේය.

තක්ෂිලා සහ ගන්ධාර ප්‍රදේශය වැනි වන්දනීය ස්ථාන සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බැවින් පාකිස්තානයට පැමිණෙන බෞද්ධ වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව මහ කොමසාරිස්වරයා පැවසී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, නියෝජ්‍ය මහ කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය