ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් හා නාවික ගමනාන්තයක් පිළිබඳ සාකච්ඡා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉතාලි තානාපති Damiano Francovigh මහතා අතර හමුවක් අද (2023.11.27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.

එහිදී, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා වර්ධනය කිරීමේ අරමුණින්, කොළඹ සෘජු ගුවන් ගමනාන්තයක් හා නාවික ගමනාන්තයක් ලෙස හඳුන්වා දීම සඳහා කඩිනමින් කරුණු සොයාබැලීමට, ඉතාලි නව තානාපති Damiano Francovigh මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත එකඟත්වය පළ කළේය.

දෙරට අතර ද්විපාර්ශවිය සබඳතා තවදුරටත් තහවුරු කරගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම අනුව තානාපතිවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර වෙළෙඳ සබඳතා තහවුරු කිරීම පිණිස එරට වෙළෙඳ මණ්ඩලයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය හා සාකච්ඡාවක් සඳහා යොමුකරන බවය.

දැනට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විසා නිකුත් කිරීමේ ප්‍රමාදයන් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් අතර, ඒ පිළිබඳ සිය අවධානය දැනටමත් යොමුවී ඇති බව, නව ඉතාලි තානාපතිවරයා පැවසු අතර, ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රමාදය නිවැරදි කරන බවද ඔහු කීය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක හා ඉතාලි නියෝජ්‍ය තානාපතිවරයා එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය