කිලිනොච්චියේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ (2024.07.12) කිලිනොච්චියේ ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“සංවර්ධනය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම, සෑම පළාතකටම, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම පළාත් සභා මුදල් සහ විශේෂ ප්‍රතිපාදන වෙන් කිරීමේ වගකීම ජනාධිපතිතුමා විසින් භාරගෙන නව ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රශ්න හඳුනා ගැනීමට දායක වූ සියලුම නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙනවා.

අප මුහුන දී සිටි අර්බුදවලින් නැවත ගොඩනැගීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අප රජය භාරගත්තා. පළමු වසර අපට දුෂ්කර අභියෝගයක් වූණා. ප්‍රධාන අභියෝගයට අපි දැනටමත් සාර්ථකව මුහුණ දී තිබෙනවා. මෙම රැස්වීමේදී වගකීම භාර ගනිමින් ඒවා ජය ගත යුතුයි. ඒ සදහායි මේ රැස්වීම්, දිස්ත්‍රික් සංවර්ධන රැස්වීම පවත්වමින් පළාත් සංවර්ධන අවශ්‍යතා,හදුනා ගැනීමට කටයුතු කරන්නේ මීට වඩා වේගවත් වර්ධනයකින් සිදු කරන්න අපට අවශ්‍ය. අපිට නිකං බෙදන්න සල්ලි නෑ, බෙදන හැම රුපියලක්ම ප්‍රතිඵලදායී විය යුතුයි. ඒ සදහා මන්ත්‍රීවරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ආණ්ඩුකාරතුමා සහ දිස්ත්‍රික් නායකයන් සමඟ වැඩ කරන්න බලය දීලා තියෙන්නේ. මෙම රැස්වීමෙන් හඳුනාගත් නොවිසඳුණු ගැටලු කඩිනමින් විසදගත හැකි වුණා.

සකස් කර ඇති රාමුවට අනුව කිලිනොච්චියේ සංවර්ධනය සිදුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. දිසාපතිතුමාගෙන් සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ සංවර්ධන වැඩසටහන්වල ක්‍රියාත්මකභාවය සම්බන්ධයෙන් අධීක්‍ෂණය කර වාර්තා කිරීමේ වගකීම භාර ගන්නා ලෙසයි.

රටේ ආර්ථික දියුණුව සහ ගොවි ජනතාවගේ දියුණුව අරමුණු කරගත් රජයේ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් සඳහා කිලිනොච්චියේ ගොවීන්ගේ දායකත්වය ලැබීම පිළිබඳව ප්‍රශංසා කරනවා. ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදන්න අග්‍රාමාත්‍යවරයා ලෙස මමත්, ජනාධිපතිතුමාත්, රජයත් සූදානම්.

මම බොහෝ දිස්ත්‍රික්කවල සංචාරය කරලා තියෙනවා. වනාන්තර ඉඩම් හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා ප්‍රයෝජනයට නොගත් රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ඉඩම් ගොවි ජනතාවටත්, තරුණ තරුණියන්ටත් බද්දට ලබා දී හෝ වගා කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි කෘෂිකර්ම නිලධාරීන් සහ දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන්ගේ කාර්යභාරය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, සී. විග්නේෂ්වරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සිවඥානම් ශ්‍රීතරන්, යදිමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, දිසාපති අම්බලවාණර් සිවබාලසුන්දරන් ඇතුළු සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අගමැති මාධ්‍ය අංශය