ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ධුර කාලය සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගීතාව ලබාදෙයි...

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව පැවසූ ජපාන පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කොමුරා මසහිරෝ( Komura Masahiro) මහතා කෙටි කාලයක් තුළ ආර්ථිකය ස්ථාවර කර තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ කළේ ය. රජය විසින් සිදු කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ විදේශ ආයෝජන සඳහා හිතකර වාතාවරණය වැඩිදියුණු කරනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.

අද (2023.10.10) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ජපාන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික නායකයන් සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණු බව යි. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සභාපති වශයෙන් ශ්‍රී ලංකාවේ කටයුතු කරන වසර දෙකක ධුර කාලය අතරතුර ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඔහු සහතික විය.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ගවල උපායමාර්ගික සන්ධිස්ථානයක පිහිටා ඇති අතර නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් ප්‍රතිපත්තියක් සාක්ෂාත් කර ගැනීමේ වැදගත් හවුල්කරුවෙකු වන බව මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා,පොදු ප්‍රතිපත්ති සමඟ දෙරට අතර සමීප සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේ ය.

ගාසා තීරයේ ගැටුම් උත්සන්න වීම පිළිබඳව දැඩි සැලකිල්ල පළ කළ අග්‍රාමාත්‍යවරයා, කියා සිටියේ කොවිඩ් වසංගතය ගෝලීය ආර්ථික පසුබෑමකට හේතු වූ බවත් ලෝකයට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට යුද ගැටුමක් හේතුවෙන් තවත් එවැනි ව්‍යසනයකට මුහුණ දිය නොහැකි බවත් ය. ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ඔහු ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියේ ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව ජපාන අමාත්‍යවරයාට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, විනිවිද පෙනෙන සහ තුලනාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවට සහතික විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කළ ජපාන අමාත්‍ය කොමුරා මසහිරෝ, ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පූර්ණ සංවර්ධනයේ නිවැරදි මාවතට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බව සදහන් කළේ ය.

ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි,( Mizukoshi Hideaki) නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් නනාවෝ එයිචිරෝ, (Nanao Eiichi) නිරිතදිග ආසියානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ත්සුට්සුමි ටාරෝ, (Tsutsumi Taro) හා අධ්‍යක්ෂ ටොකිටා යුජි ( Tokita Yuji) නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.

අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, හා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න යන මහත්වරු ද මෙම හමුවට එක්ව සිටිය හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය