පළමු වරට පරිගණක යන්ත්‍රයක් ගෙනල්ලා තොරතුරු තාක්ෂණය දහම් පාසලේ ආරම්භ කිරීමට උඩහමුල්ලේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරමුණ ගත්තේ අනාගත පරම්පරාව පිළිබඳ දුරදක්නා අවබෝධයක් තිබූ නිසයි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.04.01 දින කෝට්ටේ රජ මහා විහාරස්ථානයේදී පැවති උඩහමුල්ල, තලපත්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති උඩහමුල්ලේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේට කොළඹ, උඩුගහපත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ අවස්ථාවේදී ය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

" අඛණ්ඩ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට ඉටුකළ කාර්යයේ යෙදී කෝට්ටේ සාමග්‍රි සංඝ සභාව සුවිශේෂව ඉටුකර ඇති මඟ පෙන්වීමට රජය වෙනුවෙන් අපේ ගෞරවය හිමිවෙනවා.

විවිධ කාල පරිච්ඡේදවල දුක හා සැප හරහා සමාජය ගමන් කර තිබෙනවා. එවන් කාල වකවානු හරහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර දීම පිළිබඳව ශාසනිකව අඛණ්ඩව ශතවර්ෂ ගණනාවක පැවැත්මට පරිවර්තනය කරන්නට පුළුවන් ආකාරයට ලක්දෙරණ පත් කළා.

ඒ නිසාම කෝට්ටේ සාමග්‍රී සංඝ සභාවට හැදෙන වැඩෙන පරම්පරාවට ගිහි පැවිදි පින්වතුන් ට සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදීම විශේෂයෙන් සිහිපත් කරනවා.

ඒ වෙනුවෙන් අඛණ්ඩ ක්‍රියාදාමය සංඝ සාසනයෙ ඉදිරියට ගෙනයාම සඳහා ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේ වෙත පිරිනමන පදවියේ සහ ගෞරවයේ අර්ථය ජනතාවට සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිරිසම බව මම තරයේ විශ්වාස කරනවා.

ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේ මම ඉතා කුඩා කාලයේ සිට ආශ්‍රය කර සඟ රුවනක්.

උන්වහන්සේගේ ගුරු දේවතාවන් වහන්සේ කෝට්ටේ සාමග්‍රී සංඝ සභාව හා අපේ පළාත බැබළ වූ මහ සඟරුවන උඩහමුල්ලේ චන්ද්‍රාලෝක නායක ස්වාමීන් වහන්සේ.

එම මඟ යමින් උන්වහන්සේ ගේ වැඩපිළිවෙළට නායකත්වය දීමට පුළුවන් වීම මහා පුණ්‍ය කර්මයක් ලෙස අපි සලකනවා.

එපමනක් නොව ඈත එපිට ප්‍රදේශවල දුෂ්කරතාවයන්ට මුහුණ දෙන ගම්මානවලට උන්වහන්සේ ගමන් කළා.
අපේ රටේ තරුණ පරම්පරාවට ද උඩහමුල්ලේ පමණක් නොව දහම් අධ්‍යාපනයේ දී විශේෂ වැඩසටහන් රාශියකට සහභාගී වුණ බව අපි හොඳින් දන්නවා.

ප්‍රදේශවාසි අපි සියලු දෙනා ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඉටු කරන කාර්යභාරයේ අඛණ්ඩභාවය සුවිශේෂව සඳහන් කරන්නට ඕනේ.

අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේ එඩිතරව මගට බසින්නට මගපෙන්වීම ආදර්ශයෙන් බෞද්ධයාට ලබා දුන්නා.

උන්වහන්සේගේ පන්සලට එහා තිබුණු ලංකාවේ විශාලතම රෝහලක් වන ජයවර්ධනපුර රෝහල. එම මංසන්ධියේ මත්පැන් හලක් විවෘත කරන්න උත්සාහ කළ අවස්ථාවේදී උන්වහන්සේ හැසිරුණේ ආදර්ශයත් උතුම් ගුණාංගයන් පිරුණු ආකාරයෙන්. අර්ථාන්විතව එය වළක්වා ගැනීමට උන්වහන්සේ සමත් වුණා.


බෞද්ධ කම ආරක්ෂා කර ගැනීම සඳහා බෞද්ධ වටාපිටාව ආරක්ෂා කර ගැනීම සඳහා තලපත්පිටිය ග්‍රාමය හා ඒ අවට උන්වහන්සේ ගේ මග පෙන්වීම තරුණ තරුණියන්ට දායක දායිකාවන්ට ශක්තියක් බවට පරිවර්තනය වුණා.

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් මැදිහත් වන්නට පුළුවන් නායකත්වයක් උන්වහන්සේ තුළ පිහිටා තිබීම හා වැඩි දියුණු කරගැනීම ශාසනයට ඉමහත් ශක්තියක්.

දශක දෙකකට පමණ පෙර උන්වහන්සේ දුර දැක්කා. අදහස්වලින් පරිපූර්ණයි. පලමු වරට පරිගණක යන්ත්‍රයක් ගෙනල්ලා තොරතුරු තාක්ෂණය දහම් පාසලේ ආරම්භ කිරීමට උන්වහන්සේ පෙරමුණ ගෙන කටයුතු කළේ අනාගත පරම්පරාවට තවත් ශක්තියක් විය හැකි ක්ෂේත්‍ර කෙරෙහි බොහොම දුරදක්නා අවබෝධයක් තිබූ නිසයි.


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි ඇතුළු මහා සංඝරත්නයද ඇතුළු දායකකාරකාදීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.