පළාත් පාලන පත්වීම ස්ථිර කළේද අභියෝග මැද... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන්නා...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.07.08) නාත්තන්ඩිය නගර ශාලාවේ පැවැති වයඹ පළාතේ ස්ථිර කරන ලද පළාත් පාලන ආයතන සේවකයින් 800ක් සඳහා පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

‟වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයන් විවිධයි. වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් වැඩිදියුණු කර ගැනීම සඳහා දරණ උත්සාහයන් අතර ඔබ අපත් සමග ගැටලුව විසඳගන්න නිරන්තරයෙන් ඉල්ලීම් කළා. කාලයක් කොන්ත්‍රාත් පදනමේ සේවය කළ ඔබ අඛණ්ඩව එය දීර්ඝ කිරීම සිදුකළේ මේ ආඩම්බර දිනය ඔබට ලබා දෙන්නයි.

ජනාධිපතිවරයාගේ පළවෙනි අයවැය ලේඛනයට කලින් අපේ තිබුණු සාකච්ඡාවේදී මේ ගැටලුව මතු වුණා. ආණ්ඩුකාරවරු හරහා කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට කටයුතු කළා. කැබිනට් පත්‍රිකා කිහිපයක් ගියා. විවිධ වාද විවාද තර්ක ඇතිවෙනවා. භාණ්ඩාගාරය අමාරු තත්ත්වයක පසුගිය කාළේ තිබුණේ. පසුගිය අවුරුදු දෙක තුළ හිස ඔසවන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් අපි ජනතාවට ගෞරව කරනවා. මේ දුෂ්කර කාලසීමාවේ ඒ විශ්වාසය අපි කෙරෙහි තිබ්බට. ජනාධිපතිතුමත් ඒ විශ්වාසය ඔබ කෙරෙහි තබා තිබෙනවා. රට කඩා වැටෙන්න ඉඩ තිබ්බේ නෑ. දහස් ගණනින් රස්සාවලින් දොට්ට දැම්මේ නැහැ. රටේ සංවර්ධනය නැවැත්තුවේ නැහැ. අපට පුළුවන් ආකාරයේ සෑම සේවාවකම අඛන්ඩ භාවය ඉදිරියට ගෙන ගියා.

ඔබ දැන් ස්ථීර සේවකයෝ. පළාත් පාලනය කියන්නේ මහජන සේවාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජිතයින්ගේ පහළම තලයයි. සේවාවන් පවත්වාගෙන යාමේ ජන ජීවිතය දියුණු කළ හැකි ආකාරය ඔබයි තීරණය කරන්නේ. නවීකරණයේ නිරත වෙන සෑම ආයතනයකටම තාක්ෂණ දැනුම දෙන්න ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා. ඒ ඔබට හයියක් වෙන්නයි. ඊට වඩා වියදමක් යනවා නම් ඒ වගේ තැන්වලදී තාක්ෂණයෙන් එක කාර්යාලයක ඉඳලා මේක වෙලාද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ආසියාවේ රටක් හැටියට මේ ගමන ඉක්මන් කරමින් ශක්තිමත් කරන්න ඕනෑ. දියුණුවේ තරඟයේ අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ

පසුගිය මාසයක කාලයකදී ගුරුවරුන්ගේ පත්වීම් දහස් ගණනක් දුන්නා. දෙන්න එපා කියලා යම් යම් අය විවේචනය කරනවා. ඔබේ පත්වීම ස්ථිර කළේද අභියෝග මැද. මේවා දෙන්න පුළුවන් වුණ ශක්තිමත් ආණ්ඩුවක් බවට පත් වුණා. මේවට මුදල් කොහෙන්ද කියලා අහනවද? නැහැ.මේ අවුරුද්දේ දෙවරක් විතර පත්වීම් දීලා තියෙනවා. නිදහස් සෞඛ්‍ය සේවයේත්, නිදහස් අධ්‍යාපනයේත් පැවැත්ම අපේ දරුවන්ගේ අනාගතයටයි. දරුවෝ කියන්නේ රටේ අනාගතයයි. දරුවන්ට ශක්තිය දෙන්න පුළුවන් සේවාවන් කේන්ද්‍ර කරගෙන කරන්න පුළුවන් වැඩකටයුතු පිළිබඳව පළාත් පාලනයට ව්‍යවස්ථාවෙන්ම අයිතිය තියෙනවා.

මේ ජීවිතය වඩා විශ්වාසයෙන් පමණක් නොවේ, වඩාත් ඵලදායි තත්ත්වයකට පරිවර්තනය කරන්න සේවය කරන ආයතන, රැකියා එසේ ඵලදායී තත්ත්වයකට පරිවර්තනය කරන්න. පලදායි තත්ත්වය මතයි ආර්ථික සංවර්ධනයේ තව පිම්මක් අපට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. අමාරුකම් හරහා තමයි සියලු රටවල් ගමන් කරන්නේ. කොයි රටද අමාරුකමක් නැතුව ගමන් කරන්නේ? කොයි රටද එවැනි ගැටලු වලින් ගොඩ ඇවිල්ල නැත්තේ? හැම රටක්ම තම අභියෝගයෙන් ගොඩ ඇවිල්ලා තියෙනවා. ස්ථාවර පාලන තන්ත්‍රයක් අපි ස්ථාපිත කරලා තියෙනවා. කවුරු මොන ගණන් හැදුවත් අපි පාර්ලිමේන්තුවේ ස්ථාවරව අපේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් සිටිනවා. ජාත්‍යන්තරව හැම රටක්ම අපිව විශ්වාස කරන තත්ත්වයට ගෙනත් තියෙනවා. අපට ජාත්‍යන්තරව විවිධ ආයතනවලින් සහයෝගය ගන්න පුළුවන් විදියට මූල්‍ය ප්‍රතිපාදන අඛණ්ඩව ලැබෙනවා.

රාජ්‍ය අංශයට පමණක් නොවේ පෞද්ගලික අංශයට තවදුරටත් ඉඩ කඩ වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. අපේම දරුවෝ ඉගෙනගෙන ඇතිකරගත් ඥානයෙන් හා නිර්මාණශීලීත්වය හැකියාව තුළ හැම කෙනෙක්ටම ආර්ථික දොරටුවක් අපි විවර කරනවා.″

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා -

‟දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යතුමා විදියට පත් වෙද්දී, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට පත් වෙද්දී තිබුණු පළවෙනි අභියෝගය වන්නේ රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ කොහොමද කියන එකයි. ඔබ රාජ්‍ය නිලධාරීන් විදියට අද පත්වීම් ලබද්දී හිතාගන්න ඕනේ කාරණයක් තමයි ඔබ රාජ්‍ය නිලධාරියෙක් විදිහට ස්ථීර පත්වීම ලබන්නේ රට දැවැන්ත අර්බුදකාරී සහ අපහසුතාවයක් තියෙද්දී. එතුමාගේ දේශපාලන සවිඥානය ප්‍රයෝජනයට අරගෙන එතුමා බොහොම ඉවසීමෙන් මේ රට ගොඩනගන කාරයේදී දැවැන්ත ශක්තියක් ජනාධිපතිතුමාට දුන්නා. ඔබට මේ පත්වීම දෙන්න කැබිනට් පත්‍රිකාව නව වතාවක් කැබිනට් එකට ඉදිරිපත් කළා.

මම ඔබෙන් ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ මූලික අයිතිවාසිකම් තුළ හෝ සේවා ව්‍යවස්ථාවන් තුළ හෝ ඔබට තියෙන වෙනත් කුමන අයිතිවාසිකම් තුළ හෝ අසනීප නිවාඩු ගන්න පුළුවන්.ඒක ගන්න අසනීප වුනහම. කියලා අසනීප වෙන්න එපා රට අසාධ්‍ය තත්ත්වයට පත්වෙනවා. ඔබට මේ අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන් විදිහට පත්වීම බාර දෙන්නේ ඔබේ වගකීම යුතුකම සහ කාර්යභාරය රටට අවශ්‍ය නිසයි.

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන චින්තක මායාදුන්නේ, අලි ශබ්රි රහීම්, ජගත් ප්‍රියන්කර, සමන් ප්‍රිය හේරත්, යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, පුත්තලම දිසාපති එච්. එම්. එස්. පී. හේරත් ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ."

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය