ලෝක දර්ශනවාදයන් හා ආගම් පිළිබඳ අදහස ධර්මපාලතුමා අර්ථාන්විතව ඉදිරිපත් කළ නිසා බුදු දහම ලෝකයට ගෙන ගියා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

ලෝක විශ්වවිද්‍යාල බුදු දහම ගැන පර්යේෂණ ආරම්භකොට ශතවර්ෂයක් ගෙවෙද්දී අපි කොතනද?

මරදාන,මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ අද (2023.09.17) පැවැති අනගාරික ධර්මපාල තුමාගේ 159 වැනි ජන්ම දින සැමරුමට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අනගාරික ධර්මපාලතුමාගේ ගිහි ප්‍රතිමා මිස පිරිස පැවිදි ප්‍රතිමා කිසිම තැනක නැත. පැවදි ප්‍රතිමාවක් සඳහා මුල්ගල් තැබීම ද මෙහිදී සිදු විය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා-

“අනගාරික ධර්මපාල තුමා ඉතා ඉහළ මනුෂ්‍යත්වයක් ලොවට දායාද කළ ලංකා පුත්‍රයෙක්.

මෙවැනි අසීරු ගමනක යෙදෙන්න එතුමාට හැකිවුණේ ඒ මනුෂ්‍යත්වයේ ගුණාංග හා බුදුදහමේ ආලෝකය නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝ පතල ජනතාවට දායාද කරන්නට හැකි වුණා.

සිද්ධාර්ථ කුමාරයා ඉපදුන, බුද්ධත්වයට පැමිණි, ධර්ම දේශනයන් පැවැත්වූ ස්ථාන යළි ලෝක වාසීන්ට දායාද කරන්නට පුළුවන් වන්නේ අනගාරික ධර්මපාල තුමාගේ මැදිහත්වීම සහ කටයුතු කිරීම නිසායි.

එම ප්‍රදේශවලට ගොස් දුක් විඳිමින් පා නැගූ ගමන නිසාම එම ස්ථාන ලෝක වාසීන්ට දායාද කරන්නට පුළුවන් වුණා.

එසේ නොවන්නට එම ස්ථාන පිළිබඳ අදත් සාකච්ඡා කරමින් තිබෙන්නට පුළුවන්.

ඉන්දියානු රාජ්‍ය නායකයින් අනගාරික ධර්මපාලතුමාගේ කැපවීමට දැක්වූ සහයෝගය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිහිපත් කරන්නට කැමතියි.

අනගාරික ධර්මපාල තුමා බුදු දහමේ අර්ථය ලෝකයට ගෙන ගියා.

පසුගිය ශත වර්ෂයේත්, ඊට පෙරත් පැවති ලෝක දර්ශනවාදයන් හා ආගම් පිළිබඳ අදහස බොහොම සරල බසින් අර්ථාන්විත බසින් ඉදිරිපත් කිරීම නිසා අනගාරික ධර්මපාල තුමා ලොවට බුදු දහම පණිවිඩය ගෙන යාමේ දී සුවිශේෂ අවස්ථාවක් උදාකර දුන්නා.

ඒ පිළිබඳව විවිධ රටවල සවන් දුන් හා ලිඛිතව කියවූ අය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට පැමිණෙන්නට පටන් ගත්තා.

ලෝක විශ්වවිද්‍යාල බුදුදහම පිළිබඳව පර්යේෂණ කරන්නට ආරම්භයක් ගෙන ශතවර්ෂයක් පසුවට අප ජීවත් ජීවත්වන්නේ අනගාරික ධර්මපාලතුමාගේ එකසිය පනස් නව වැනි ජන්ම දින සැමරුම අවස්ථාවේදීයි.

බානගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේ මෙම ස්ථාන යළි පණ ගැන්වීමට කටයුතු කළා.

ඒ නිසා ජාත්‍යන්තර සම්බන්ධතාවයන් යළි ගොඩනගන්නට, නායකත්වය දෙන්නට බානගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඉටු කළ මෙහෙය මහා බෝධියට පමණක් නොව ලෝක බෞද්ධ අනුගාමිකයන්ට මහත් වූ පණිවිඩයක් බවට පත්වුණා.

ලෝකය වෙනස් වෙමින් පවතිනවා. ඒ වගේම ලෝකවාසීන් අලුත් ජීවන මඟක් සොයමින් සිටිනවා.

බුදුරජාණන් වහන්සේ අපට තැන්පත් කළ දෑ සෑම රටකම අද සාකච්ඡා වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවේ උතුම් ගුණාංගයන් ගෙන් ජන ජීවිතය, සමාජය සකස් කරගැනීම පිළිබඳව කතා කෙරෙන මේ කාලයේදී ලෝක ධර්ම දූත සේවයෙන් ඉටු කෙරෙන මෙහෙය අතිවිශාලයි.”

එහිදී අනුශාසනා කළ මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමි -

“සිංහල බෞද්ධයෙක් හැටියට කළගුණ සැලකීම කියන දේ අනගාරික ධර්මපාල තුමා හොඳින්ම පිළිපැද්දා.

අනගාරික ධර්මපාලතුමාගේ වැඩකටයුතු ඉදිරියට ගෙන යමින් අවුරුදු විසි හතරක් මහාබෝධි සංගමයේ සභාපති හැටියට මම ඉටු කළා.

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යතුමා, එදා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඉන්නකොට විශාල වැඩ කොටසක් මහා බෝධි සංගමය වෙනුවෙන් ඉටු කළා. සාංචියේ ගොඩනැගිලි ඉදි කළා.

සාංචිය දියුණු කළා. අදටත් එතුමාගේ පින්තූරයක් සාංචි විහාරයේ තැන්පත් කර තිබෙනවා. ඒ නිසා
සාංචියේ ඔබ අමරණීයයි.”

පූජ්‍ය බෝදාගම චන්දිම හිමි, පූජ්‍ය අම්බුලුගල සුමංගල හිමි ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් සත්‍යාන්ජල් පාන්ඩේ, මහා බෝධි සමාගමේ ලේකම් අධිනීතිඥ දීල්ශාන් ජයසූරිය, ඉන්දීය සහ ජපාන නියෝජිතයින්, බැතිමතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.