අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහ නාහිමිපාණන් වහන්සේ අපවත්වීම පිළිබඳ ශෝක ප්‍රකාශය

හෙළ සසුන් කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ, ශ්‍රී අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දර, කළපළුවාව ශ්‍රී ගෝතම තපෝවනය හා ප්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානයන්හී අධිපති, මහාවිහාර වංශාලංකාර ශාසන විභූෂණ, අමරපුර ගණපාමොක්ඛාචරිය, කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීසවශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය, මහාමහොපාධ්‍යාය, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම මහත් ශාසනික හිඩැසක් වනු ඇත.

ශාසනික, ආගමික හා සංස්කෘතික හරපද්ධතීන් රැසක් සමාජ ගත කළ උන්වහන්සේ දොඩම්පහල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික ඉගෙනීම ලබා මාතර වීරබා පිරිවෙන හා ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, ඉතිහාසය, පුරා විද්‍යාව, අභිධර්මය ආදි විෂයයන්‌ පිළිබඳව ප්‍රාමණික යතිවරයෙකි.

උන් වහන්සේගේ උතුම් දායාදයක් වන “ගෝතම තපෝවනය” භාවනා මධ්‍යස්ථානය ජාතියටත්, සම්බුද්ධ ශාසනයට හා මුලු මහත් සමාජයටත් මග පෙන්වන්නකි.

මහනායක හිමියෝ බැහැදැකීමට පැමිණී සෑම අවස්ථාවකම ජනතාවගේ ආරක්ෂාව හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සදහා නිරන්තරයෙන් අනුශාසනා කරමින් කළ මඟපෙන්වීම් ජාතියේ නාමයෙන් කෘතවේදීව සිහිපත් කරමි.

සම්බුදු සසුන වෙනුවෙන්‌ උදාරතර ලෝක ශාසනික සේවාවක නිරත වූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් ශෝකයට පත් සහෝදර හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ, ඥාතිමිත්‍රාදීන්, දායකකාරකාදීන් හා සහසම්බන්ධිත සැමට සංවේගය පළ කරමි.

සසුනඹර එළිය කරමින් සිට නිවී ගිය අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමින් වහන්සේට නිවන් සුව පතමි.

මෙයට සසුන් ලැදි,
දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2023 මැයි 19 දින