කොළඹ, ජලය හා වැව් පිරිසිඳුව තබා ගැනීමට නම් කොළඹ මහනගර සභාව සතු පරිසරය අපවිත්‍ර කිරීම වැළැක්වීමේ විශාල නීතිමය බලය භාවිතා කළ යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

ජපානයේ නවීන තාක්ෂණය යොදාගනිමින් බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.09.07 දින ආරම්භ කෙරිණී.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

ශ්‍රී ලංකාව හා ජපානය අතර තිබෙන අන්‍යෝන්‍ය මිත්‍රත්වය මත ජපානය ලබා සිටින දියුණුවේ දැනුම අප රටේ දියුණුවට දායාද කරන්නට එකතු වීම වැදගත්. බේරේ වැව මනහර සුන්දර වැවක් බවට පරිවර්තනය කිරීමටත්, කොළඹට මෙම සුවිශේෂ පරිසර පද්ධතිය යළිත් ලබාදීමටත්, අපේ ජල කර්මාන්තයේ ඉතාම දියුණු අවස්ථාවකට දොරටු විවෘත කිරීමටත් ජපාන ආයතන ලබා දෙන සහය විශේෂයි.

බේරේ වැවට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඉතිහාසයේ ජලය භාවිතා කිරීම, කළමනාකරණය කිරීම හා ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි බේරේ වැවේ කතාව එකතු කරන්නේ මහගු අත්දැකීම් සම්භාරයක්. සීමා මාලකය බේරේ වැවේ සුවිශේෂ ස්ථානයක්. වසරකට වරක් ලක්ෂ සංඛ්‍යාත ජනයා ගංගාරාමයේ පෙරහරට සීමා මාලකයට එක් වෙනවා. එවන් කේන්ද්‍ර ස්ථානයක් ලෙසත් විදේශ සංචාරකයන් පැමිණෙන ස්ථානයක් ලෙසත් බේරේ වැව සුවිශේෂයි. කොළඹ නගරය හරිත නගරයක් හැටියට ලොව ප්‍රසිද්ධ වුණා. එය එලෙස ආරක්ෂා කරගැනීම ජනතාවගේත් වගකීමයි. නව තාක්ෂණ දැනුම එකතු කරමින්, ජලය පවිත්‍ර කිරීම සඳහා යොදා ගන්නා වූ මේ ව්‍යාපෘතිය බේරේ වැවට පමණක් නොව ඉදිරි කාලයේ අපේ ජල පර්යේෂණවලට ද වැදගත්.

කොළඹ මහ නගර සභාව බොහොම ගැඹුරින් අවබෝධ කරගෙන මේ පිළිබඳව කටයුතු සිදුකළ යුතුයි. පරිසරය අපවිත්‍ර කිරීම වැළැක්වීමට විශාල නීතිමය බලයක් කොළඹ මහනගර සභාව සතුව තිබෙනවා. එය භාවිතා කරන්නේ නම් ජනතාව සමග සුහදව සහයෝගයෙන් අපේ ජලය හා වැව් පිරිසිඳුව තබා ගත හැකියි. මෙම ආයෝජනයේ ප්‍රයෝජනය අපේ නගරයටත් අපේ ජල කර්මාන්තයටත් ඒ වගේම පිරිසිඳු පරිසරයෙන් පිරුණු තත්ත්වයකට පරිවර්තනය කිරීමේ පුළුවන්කම සඳහා අපි කටයුතු කරමු. එයට සහයෝගය දක්වමු.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු සංඝරත්නය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, ප්‍රේමනාත් දොලවත්ත, යදාමිණි ගුණවර්ධන, ජපාන නියෝජිතයින්, ආචාර්ය අංශු මාරසිංහ මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය