“යුරෝපයේ හා ජපානයේ මාළු ඉල්ලුම සපුරාලමින් මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා... ” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2023.05.08) කොළඹ පදනම් ආයතනයේ පැවැති සීමාසහිත සී-නෝර් පදනමේ පනස් පස්වන සංවත්සරයට සමගාමීව ඉදිරිපත් කළ පස් අවුරුදු සැළැස්ම හා වෙබ් අඩවිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමිණි.

අධි තාක්ෂණය භාවිතා කරමින්, අඩු වියදමින් වැඩි මත්ස්‍ය නිෂ්පාදනයක් සඳහා වූ බෝට්ටු නිෂ්පාදනය හරහා ධීවර අමාත්‍යංශයේ වැඩසටහන් වලට දායකත්වය ලබාදෙන සීනෝර් පදනම ඇරඹෙන්නේ 1967 වසරේදී නොර්වේ රජයේ අනුග්‍රාහකත්වයෙනි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“අපේ රට නව පරිවර්තනයකට ලක්වන, අනාගතයට බලපාන අලුත් වැඩපිළිවෙළකට ධීවර ක්ෂේත්‍රය පිවිසෙන මොහොතකට මේ පනස්පස් වන සංවත්සරය යොමු කරමු. රජයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා ඕනෑම ආයතනයකට සැලැස්මක් හා ඉලක්කයක් තිබිය යුතුයි. එවැනි සැලැසුමක්, ඉලක්කයක් නොමැතිව ආයතනයකට ඉදිරියට ගමන් කරන්න බැහැ. මේ අවස්ථාවේ රටේ තිබෙන අර්බුදය ආයතන වලටත්, රටටත් බලපානවා. ඒ නිසා සීනෝර් ආයතනය ඉදිරි අවුරුදු පහක් වෙනුවෙන් වූ සැලැස්මක් අද දින ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්.

ඉන්දියන් සාගරයේ, අතිශය වැදගත්කමක් උසුලන මුහුදු මාර්ගයකයි ලංකාව පිහිටා තිබෙන්නේ. මේ මුහුදුකරයේ එහාට, මෙහාට යන නෞකා පිළිබඳ විතරක් නෙවෙයි. වටිනා මාළු අස්වැන්නක් ලබන ආකාරය හා ඒ සඳහා හැකියාව ඇති අය, ඔවුන්ට ලබාදිය යුතු පහසුකම් සම්බන්ධයෙනුත් ඉදිරි සැලැස්මක් අවශ්‍යයි. මේ සැලසුම් තමයි අපේ රටේ අනාගතය.

අපි අවුරුදු දෙසීයක් පමණ කාලයක් තේ, රබර් අපනයනය කරනවා. ඒ වගේම අනාගතයේදී ධීවර මත්ස්‍ය අපනයනය වැඩි කරන්න පුළුවන්. සීනෝර් ආයතනය බිහිවීමෙන් පසුව අලුත් තාක්ෂණය ධීවර කර්මාන්තය සමඟ මුසුකර තිබෙනවා. මෙම ෆයිබර් ග්ලාස් තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන අපේ ධීවර කර්මාන්තය තුළ විශාල පරිවර්තනයක් කළ හැකියි. සංචාරක ක්ෂේත්‍රයට පිවිසිය හැකිවන ලෙස විවිධ නව බෝට්ටු නිෂ්පාදනය සඳහා වූ සුවිශේෂ අලුත් පියවර රැසක් මෙම සැලසුමට ඇතුළත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මුහුදුකරයෙන් අල්ලන මාළු රසින් වැඩි බව පවසන යුරෝපය හා ජපානය අපෙන් ඉල්ලා සිටින මාළු ඉල්ලුම සපුරාලන්න අදටත් අපිට හැකි වෙලා නැහැ. නව ක්‍රියාකාරී සැලැස්ම තුළින් එම ඉල්ලුම සපුරාලීමේ මූලික අඩිතාලම ආරම්භ කෙරෙනවා. මාළු සුරක්ෂිතව කල්තබා ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සඳහා අලුත් වැඩපිළිවෙළකට ලෝක ආහාර සංවිධානය සංවිධානය පිවිසුනා. ෆයිබර් ග්ලාස් තාක්ෂණය වැඩි ප්‍රයෝජනයකට පරිවර්තනය කරමින් මාළු සුරක්ෂිත කිරීමට හැකි ක්‍රම පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ.

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එකඟතාවයෙන් කටයුතු කරන්න පුළුවන් ක්ෂේත්‍රවලට පිවිසෙමින් අභියෝගය ජය ගන්න ඕනේ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න ඕනේ. මුහුදේ ගමන් කරන හැම ධීවර යාත්‍රාවකට සංඥා පද්ධතියක් සවි කිරීමට අවශ්‍ය යන්ත්‍රය ලබා ගැනීමේ වැඩපිළිවෙලකටත් අපි අවතීර්ණ වුණා.

අපේ සමුද්‍රය තරණය කරන්නට, නව පරම්පරාවට දියුණු තාක්ෂණික පුහුණුවක් ලබා දීමට මෙන්ම ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරිමටත් අවශ්‍යයි. අලුත් පියවරක් විදියට සීනෝර් ආයතනය තාක්ෂණ විද්‍යායතනයක් බවට පරිවර්තනය කරන්නට රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ”

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා

“ධීවර කර්මාන්තයේ විශාල ප්‍රගතියයකට සීනෝර් පදනමේ දායකත්වය ලැබෙනවා. අපිට මිරිදිය සම්පත්වලින් ජනතාවගේ පෝෂණය පමණක් නොව රටේ ආර්ථිකයටද විශාල සැපයුමක් දිය හැකියි. මේ සදහා නව තාක්ෂණික බෝට්ටු යොදා ගතයුතුව තිබෙනවා. ඒ සදහාත් සීනෝර් පදනම දායකත්වය සපයනවා. ඈත දියඹේ සති ගණනාවක් බෝට්ටුවලින් මසුන් ඇල්ලීම සිදුකෙරෙනවා. මේ මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මකභාවයටත්, ආරක්ෂාවටත් ශිතකරණ පහසුකම් සහිත බෝට්ටු අවශ්‍යයි. එයට සීනෝර් පදනමේ සහාය බලාපොරොත්තු වෙනවා.”

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා

“ලංකා ආර්ථික දේශපාලන අර්බුදයත් එක්ක මේ රට ගොඩනගන්නට නම් සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කළ යුතුයි. එවැනි අවස්ථාවක මූලාරම්භයක් හැටියටයි මෙම සංවත්සරය පැවැත්වෙන්නේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පියාණන් පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ අවදියේ තමයි මේ ආයතනය පිහිටුවන්නේ. ඒ වගේම ධීවර කර්මාන්තයේ ස්වර්ණමය යුගය නිර්මාණය කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා.

මේ ආයතනය හොඳ ශක්තිමත් ආයතනයක් හැටියට ඉදිරියට ගෙනයාමයි අපේ බලාපොරොත්තුවයි. රට වටේම තියෙන සාගර සම්පතින් අප මෙතෙක් කල් ප්‍රයෝජනය ගත්තා ද නැද්ද කියන එක පිළිබඳව අපට සැකයක් තියෙනවා. මේක නිකම්ම නිකම් පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් නෙවෙයි. මේ ක්ෂේත්‍රය තුළ තරගකාරිත්වයට මුහුණ දෙන්න හැකි වන අයුරින් අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි. මොකද, අපි ජාත්‍යන්තරය දිනා ගත යුතුය. අත්දැකීම් ලබාගත යුතුයි. මේ සැලසුම ක්‍රියාත්මක කර ඉලක්ක සම්පූර්ණ කර ගැනීම හරහායි අපිට එය කළ හැකිවන්නේ.”

විසිපස් වසරක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින් සදහා සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, තානාපතිවරු, ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක, සී නෝර් ආයතනයේ සභාපති දුලාන් හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය