ආනයනික බඩ ඉරිඟු බීජ ගොවීන්ට නිදහස් කිරීම ප්‍රමාද වීමේ ගැටළුව විසඳීමට වහාම මැදිහත් වන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් නිළධාරීන්ට උපදෙස්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බඩ ඉරිඟු බීජ ගොවීන්ට නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීමට වහාම කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ජාතික මෙහෙයුම් කමිටු රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2022.10.13 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබීය.

තිරසර සංවර්ධන ඉලක්ක17ක් සපුරා ගැනීමේ අභියෝගාත්මක අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු කරන ලදී.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇතිවී තිබෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ කෘෂිකර්මාන්තයේ ගැටළුවලට අමතරව, දරිද්‍රතා ගැටළුව සමාලෝචනය කිරීම, දරුවන්ට එරෙහි කෲරත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම,ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, කාලගුණ විපර්යාස අභියෝග ජයගැනීම මෙන්ම ජල කළමනාකරණය ඇතුළු වැදගත් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනු ලැබීය.

රටේ ආර්ථික ගැටළු මත තීව්‍ර වන මන්දපෝෂණය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාලවීමට හේතුවක් වී ඇති බඩ ඉරිඟු නිෂ්පාදනය මන්දගාමී වී ඇත්තේ වරාය ශාක නිරෝධායන ඒකකය මගින් ඉන්දියාවෙන් ගෙන්වන ලද බීජ නිදහස් කිරීමේ ප්‍රමාදය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ බඩඉරිඟු බීජ වල ඇෆ්ලටොක්සීන් පවතින බවට පැතිර ගිය කට කතා නිසා නිලධාරින් ආරක්ෂා සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බැවින් බීජ නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා මැදිහත් වෙන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

මේ අවස්ථාවේ ගොවීන්ට අවශ්‍ය බීජ නිකුත් කිරීමේ දී යම් තහනමක් තිබේ නම් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට හෝ තමාට දැනුම් දිය හැකිව ඇතැයිද බීජ නිදහස් කිරීම ප්‍රමාද කිරීමට පෙර කුමන ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව එම බීජ පරික්ෂා කළා ද යන්න පිළිබඳ දැනුම් දිය යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

තිරසර සංවර්ධන ඉලක්ක වලට ඇතුළත් සමාජ සුරක්ෂිතතාවය පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ඉතා සුළු කාරණා සම්බන්ධයෙන් පවතින නඩු දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන යාම රට පුරාම දහස් ගණන් ජනතාව මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් බවත් මෙය ජනතාවට අනවශ්‍ය කරදරයක් මෙන්ම අනවශ්‍ය වියදමක් බවත් පෙන්වා දුන්නේය.

චක්‍රලේඛ වලට පමණක් සීමා නොවී සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ වැඩසටහන් පිළිබඳව රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතුව තිබේ.

ජාත්‍යන්තර මෙන්ම ජාතික ඉලක්ක සපුරාලීමට දරණ උත්සාහයට මතුව ඇති ගැටළු අධ්‍යනය කර ගම් මට්ටමේ සිට ආයතන රාශියක් ඉහළට ගමන් කිරීමට එකමුතුවෙන් වැඩ කරන ක්‍රියාදාමයක් ප්‍රකාශයට පත්කර තිබෙන බවද අග්‍රාමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය.

තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රසාදය පළ කරන අතර ඉදිරියටත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදෙන බව මෙම අවස්ථාවට සහභාගී වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සරත් ඩෑෂ් මහතා සදහන් කළේය.

2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය තුළ ශ්‍රි ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 385 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් කොතරම් දායක වෙනවාද යන්න පිළිබඳව සෑම අමාත්‍යංශයක්ම වාර්තා පවත්වාගෙන යා යුතු බවත් තිරසර සංවර්ධන වැඩසටහන් ඉලක්ක සඳහා 2023 අයවැයේ ප්‍රමුඛතාවය හිමි විය යුතු බවත් මෙම ජාතික මෙහෙයුම් කමිටු රැස්වීමේදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර , මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ,ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ඇතුළු අමාත්‍ය සහ රාජය අමාත්‍යවරුන් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ අමාත්‍යංශ ලේකම්වරුන් රැසක් සහභාගි වූහ.