ජාතික වීරවර පිලිප් ගුණවර්ධන ගුණ සැමරේ...

ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 51වන ගුණ සමරු උත්සවය 2023.03.29 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ගුණ සමරු උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහභාගී වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආරාධිතයින් පිළිගන්නා ලදී.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ ඉතිහාසඥ කළා ශාස්ත්‍රීය විශාරද සහ ජාත්‍යන්තර චිත්‍රපට සම්මානලාභී ආචාර්ය සිංහරාජ තම්මිට දෙල්ගොඩ යන මහත්වරු විසින් ගුණ සමරු උත්සවයේ ප්‍රධාන දේශන සිදු කරනු ලැබීය.

පිළිප් ගුණවර්ධන පදනම් භාරයේ අධ්‍යක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා අරමුණ පැහැදිලි කරමින් මෙසේ අදහස් දැක්වීය -

අද පනස් එක්වෙනි වතාවට පිලිප් ගුණවර්ධන මැතිදුන්ගේ ගුණ සමුදාය සිහි කරමින් අනාගත පරම්පරාවන් උදෙසා ජාතියේ පැවැත්මත් ශ්‍රී ලංකාද්වීපයේ අනාගතය වෙනුවෙන් එතුමා කරන්නට යෙදුණු වැදගත්ම වැඩ කොටස තවත් එක් පියවරක් ඉදිරියට තබන දිනයයි. භෞතිකත්වයට වඩා එතුමා විසින් තැන්පත් කරන්නට යෙදුණු ගැඹුරු දර්ශනය ඉදිරියට ගෙනයන්නට නැවත වරක් අද දිනයේ අපි සියලු දෙනා එක්ව සිටිනවා.

පිලිප් ගුණවර්ධන මැතිතුමා අක්කර දස දහස් ගණනාවක අයිතියක් උරුමයක් ඇතිව උපන් කෙනෙක්. අවුරුදු 51 කට කලින් එතුමා අප අතරින් වියෝ වන විට අක්කරයකට දෙකකට වඩා ඉඩකඩම් තිබුණේ නෑහැ. රටේ නිදහස වෙනුවෙන් ජනතාවගේ අයිතිය වෙනුවෙන් එතුමා ඒ සියල්ල කැප කළා. එතුමාගේම වචනයෙන් කියනවානම් එතුමන්ට තිබුණු එකම ලොකුම සම්පත එතුමන්ට තිබුණු ලොකුම දායාදය තමයි දරුවන් පස්දෙනා. ඒ දරුවන් පස්දෙනා ඉතාමත්ම උගතුන් හැටියට මේ ජාතියට දායාද කරල රටේ අනාගතය වෙනුවෙන් ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුනට ඕනෑම වගකීමක් දරන්නට පුළුවන් කියන එක එතුමන් නිරන්තරයෙන් ම මතක් කළා. ජනාධිපතිතුමනී ඒ කාලයේ එතුමන්ගේ දරුවන් පස් දෙනාගෙන් එක දරුවෙක් සමග ඔබතුමා සිත් සිප් සතර හැදෑරූවා. රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ. එය සිහිපත් කරන්නට මේ අවස්ථාව කරගන්නවා. ඒ දේශපාලන දර්ශනයත් ඒ ගමන් මඟත් ඔබතුමා හොඳින් අධ්‍යයනය කර ඇති කියන එක අපි අමුතුවෙන් මතක් කරන්නට අවශ්‍ය නැහැ.

සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය නිර්මාණය කරන්නට යෙදුණු ඒ දැවැන්ත දේශපාලන බලවේගයක් එක්ක අද මේ අවස්ථාවට එක්ව සිටින ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා.

ආචාර්ය සිංහරාජ තම්මිට දෙල්ගොඩ මහතා -

ඉතිහාසය අප අතරින් ගලා යන අතර එය අපව හැඩගස්වනවා.. පිලිප් ගුණවර්ධන මහතා නූතන ලංකාවේ චින්තනයට හා පරිකල්පනයට ප්‍රබල බලපෑමක් කළ දේශපාලන නායකයෙක්. සමාජවාදය ප්‍රවර්ධනය කිරීමේදී ඔහු එය සංස්කෘතිය සමඟ සම්බන්ධ කර ගැඹුරු දේශීය අර්ථයක් ලබා දුන්නා.

ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත්තේ බොරළුගොඩ පන්සලෙන් සහ ගමේ පාසලෙන්. 1925 දී ඔහු කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තා.

1929 දී ඔහු ජවහර්ලාල් නේරු, ක්‍රිෂ්ණා මෙනන්, ජෝමෝ කෙන්යාටා සහ ඉන්දුනීසියානු නිදහස් සටන්කාමියෙකු සහ ජාතික වීරයෙකු වන ටුම් මලිකා සමඟින් යටත් විජිත විරෝධී ව්‍යාපාරයට හවුල් වුණා.

1956 දී පිලිප් ගුණවර්ධන අවිස්සාවේල්ල ආසනය ජයග්‍රහණය කර එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස පත් වුණා. කෘෂිකර්ම, ආහාර, ඉඩම් සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස ඔහු කුඹුරු ඉඩම් පනතේ නිර්මාතෘවරයා බවට පත්වූ අතර එමඟින් අඳ ගොවියාට අස්වැන්නෙන් කොටසක් ලැබීමේ අයිතිය සහතික කර නීතියෙන් ඔවුන් ආරක්ෂා කළා.

පිලිප් ගුණවර්ධන මහතා සතු වූ ඉතිහාසයේ ගතිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධය ඔහුගේ චින්තනයේ කැපී පෙනෙනවා.

"අතීත උරුමය වර්තමානයට මෙන්ම අනාගතයටද වැදගත් බව මට හැඟේ" යැයි ඔහු විටෙක කිව්වා. සීතාවක උරුමය පිළිබඳ අතීත ශක්තීන් වර්තමාන හැකියාවන් කරා යොමු කිරීමේ වටිනාකම පිළිබඳ පිලිප් ගුණවර්ධනයන් විශ්වාස කළා.

වාරි ශිෂ්ටාචාරයේ වැදගත්කම ඔහු තේරුම් ගත්තා. මහාචාර්ය විමල් දිසානායක අපට පවසන පරිදි ″ ඉතිහාසය අප තුළින් ගලා යන අතර අපව හැඩගස්වන ආකාරය ගුණවර්ධන පැහැදිලිව දුටුවා. අනාගතයේ දී අපගේ නොසන්සුන්තාවය වර්ධනය වන්නේ අපගේ ඓතිහාසික අනන්‍යතාවය අහිමි වීමෙන් බව ඔහුගේ විශ්වාසය වුණා."

මෙහිදී අදහස් දැක් වූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා -

පිලිප් ගුණවර්ධන චරිතය ගැන දන්නා අයට පිලිප් ගුණවර්ධන එක්ක ඉඩම් ප්‍රතිසංස්කරණය එන්නේ ඇයි කියන එක අමුතුවෙන් කියන්නට දෙයක් නෙවෙයි. පිලිප් ගුණවර්ධන කියන්නේ අධිරාජ්‍යවාදයට යටත් විජිතවාදයට එරෙහි ව දැවැන්තව සටන් වැදුණ කෙනෙක්.

යටත් විජිතවාදය කියන්නේ ඉඩම් අල්ලා ගැනීම. ලංකාවේ පැරණි නායකත්වය, පිලිප් ගුණවර්ධන ප්‍රමුඛ නිදහස් සටනේ පෙරටුගාමීන් යටත් විජිතවාදයට එරෙහිව සටන් කළා. ඒ නිසා ඉඩම් ප්‍රතිසංස්කරණ ගැන පිලිප් ගුණවර්ධන චරිතය ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නෙවෙයි.

ලැබුණ පළවෙනි අවස්ථාවේදීම කෘෂිකාර්මික සමුපකාර ඇමතිවරයා ලෙස 58 එතුමා ගෙනාපු ඓතිහාසික කුඹුරු පනත ගෙනාවෙත් ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ යන මාතෘකාව යටතේ ඉඩම් අත්පත් වීම් යටතේ. අද අපේ තරුණ පරම්පරාවට සහ අද පොදුවේ ලංකාවේ හැමෝටම ඉඩම් ප්‍රතිසංස්කරණ සහ ඉඩම් ප්‍රතිපත්තීන් ගැන ගැටලු තිබෙනවා.

භූමිය, නැත්නම් ඉඩම්, කියන්නේ ඕනෑම රටක ජාතියක තියෙන වඩාත්ම වැදගත් සම්පත් වලින් වැදගත්ම සම්පතයි. භූමිය මත සියලුම අනෙක් ස්වාභාවික සම්පත් අන්තර් ග්‍රහණය කරගන්නවා. ලෝකයේ මානව ඉතිහාසය පුරාවට මේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය සහ ඉඩම් ප්‍රතිපත්තීන් කියන එක කාලය රටවල් කියන භේදයකින් තොරව පැතිරෙනවා. අපේ මෑතකාලීන ඉතිහාසය තුළ ඉඩම් වල වැදගත්කම අමුතුවෙන් කියන්නට දෙයක් නෙවෙයි.

එහි කාලීන භාවය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පිලිප් ගුණවර්ධන වැනි පතාක යෝධයින් අධිරාජ්‍යවාදීන් සමඟ අපේ ඉඩම නිදහස් කරගන්න සටන් කළේ.

මේ රටේ කෘෂිකර්මය වෙනුවෙන් පිලිප් ගුණවර්ධන මැතිඳුන් ඒ කරපු සේවය කාටත් අමතක වෙලා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පටන් ගත්තෙ පිලිප් ගුණවර්ධන ඇමතිතුමා. ඒ වෙනුවෙන් කරපු විශාල අගය කළ යුතුයි. මේවා යල් පැන ගිහිල්ලා කියන කතා ගැලපෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී කළ යුතු දේ එතුමා කරල තියෙන්නෙ.

ශ්‍රී කල්‍යාණි පාර්ශවයේ මහා නායක නවගමුව රජමහා විහාරාධීපති මල්වානේ පඤ්ඤාසාර මහා නා හිමි, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරු, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ගීතා කුමාරසිංහ, ඩී. බී හේරත්, අනූප පැස්කුවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, දුමින්ද දිසානායක, රවුෆ් හකීම්, එස්. එම් චන්ද්‍රසේන, කුමාර වෙල්ගම, ඩලස් අලහපෙරුම, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉමිතියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර, ගෙවිඳු කුමාරතුංග, යදාමිණී ගුණවර්ධන ඇතුළු මැති ඇමැතිවරු ද තානාපතිවරු ආණ්ඩුකාරවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය.