අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැසි ජලය රැස් කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය (LRWHF) විසින් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී 2023.03.22 දින සංවිධානය කරන ලද ලෝක ජල දින සැමරුම් උත්සවයේදීය.

2005 වසරේ තමා ජල හා ජලාපවහන අමාත්‍යවරයාව සිටියදී ශ්‍රී ලංකා රජය විසින් සම්මත කරන ලද වැසි ජලය රැස්කිරීමේ ප්‍රතිපත්තිය මගින් ජල ප්‍රභවය ආසන්නයේ වෙසෙන ප්‍රජාවන් ජලය ආරක්ෂා කර ගැනීම කෙරෙහි උනන්දු කිරීම අරමුණු කරගත් බව අග්‍රාමාත්‍යවරයාමෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිට ආරම්භවන ගංඟා 106 හරහා මුහුදට ගලා යන වැසි ජලයෙන් 65% ක් ආරක්‍ෂා කිරීමට අපට බොහෝ දේ කළ හැකියි. අපගේ කර්මාන්ත සහ වැවිලි අංශය ඉහළ මට්ටමේ කාර්මික ජල පරිභෝජකයින් වන අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඉහළ බලශක්ති පිරිවැයක් දරා පිරිපහදු කළ ජලය සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් වෙත සපයනවා. පිරිපහදු කළ ජලයට අමතරව වර්ෂා ජලය සැපයීමෙන් මෙම අධික ජල පිරිවැය අවම කර ගැනීමට පුළුවන්.

ශත වර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාවේ වැසි ජලය රැස්කිරීම ක්‍රියාත්මක වුණා. “අහසින් වැටෙන එක දිය බිඳක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට යා නොදෙන්න” යනුවෙන් මහා පරාක්‍රමබාහු රජතුමා කළ ප්‍රකාශය වැසි ජලය සුරැකීමට අපේ පැරණි රජදරුවන් කළ කැපවීම පිළිබඳ සාක්ෂියක්. වැසි ජලය රැස් කිරීම මහා විජ්ජාවක් නොවෙයි. එය සෑම කෙනෙකුටම සිදු කළ හැකි ඉතා සරල වගේම ප්‍රායෝගික තාක්‍ෂණයක්.
වැවිලි කර්මාන්තයේ දී විශේෂයෙන්ම ඇල්පිටිය වැවිලි සමාගම වැසි ජලය භාවිතා කරමින් සිදුකරන ලද විශිෂ්ට මෙහෙවර ප්‍රශංසනියයි. ජල පෝෂක මට්ටමින්, පස, වෘක්ෂලතා සහ ජලාශ ආදී මාධ්‍ය ඔස්සේ වැසි ජලය රැස් කිරීම තුළින් තිරසර සම්පත් කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කරන අතරම, ගෘහස්ථ, කෘෂිකාර්මික, කාර්මික සහ පාරිසරික නඩත්තුව සඳහා අවශ්‍ය ජලය සැපයීම සිදු වෙනවා.

සෑම රටකම, විශේෂයෙන් ජලය හිඟ රටවල වැසි ජලය රැස් කිරීම තුළින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට දැනුම, විශේෂඥතාව, තාක්‍ෂණය සහ මූල්‍ය සම්පත් එක්තැන් කිරීමට සහ හුවමාරුකර ගැනීමට ගෝලීය හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීම අවශ්‍යයයි. මේවන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජල සමුළුවට සමගාමීව ලිපියක් පළ කළ එක්සත් රාජධානියේ ගාඩියන් පුවත්පතේ දැක්වෙන පරිදි 2030 වන විට ගෝලීය පානීය ජල ඉල්ලුම එහි සැපයුමට වඩා 40% කින් වැඩිවනු ඇතැයි විශේෂඥයින් අනාවැකි පළ කරනවා. ජල අර්බුදයක් ඉතාම ආසන්නයේ තිබෙන බව එයින් පෙනෙන්නට තිබෙනවා.

තිරසර සංවර්ධනයේ කුළුණු තුනෙන් ජලය වෙන් කළ නොහැකි සාධකයක් වන අතර එය සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන වටිනාකම්වලින් සමන්විත වෙනවා. එය දේශගුණය, බලශක්තිය, නගර, පරිසරය, ආහාර සුරක්ෂිතතාව, දරිද්‍රතාවය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සෞඛ්‍යය යනාදිය සමඟ සමීප සබඳතාවයක් දැක්වීම තුළින් තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) බොහෝමයක් සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරී වෙනවා. දේශගුණික විපර්යාස අපගේ ආර්ථිකයට, සමාජයට සහ පරිසරයට ප්‍රමුඛ බලපෑමක් එල්ල කරන අතර, තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ අඩංගු ජාත්‍යන්තරව පිළිගත් ජල සම්පත ආශ්‍රිත ඉලක්ක සපුරා ගැනීම සඳහා ඕනෑම රටකට තිබිය යුතු ප්‍රධානතම සම්පත ජලයයි.

පසුගිය වසර 10ක කාලය තුළ ශ්‍රී ලංකාවේ වැසි ජලය රැස්කිරීමේ වැඩසටහන් සඳහා එක්සත් ජනපද සංවර්ධන නියෝජිත ආයතනයේ සහාය ලබාදීම පිළිබඳව මෙම අවස්ථාවට සහභාගි වූ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වෙත සිය ස්තූතිය පුද කරනවා.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග්, ලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදයේ සභාපති එම්.එම්.එම්. අහීයාර්, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය තනුජා ආරියනන්ද, ඇල්පිටිය වැවිලි සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී එම්.අයි. ඉසාදින් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.