ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ නිල දූත පිරිසක් ශ්‍රී ලංකාවට...

ඉන්දීය රජයේ සේවක පිරිස්, මහජන දුක්ගැනවිලි සහ විශ්‍රාම වැටුප්, අමාත්‍යාංශයේ, පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේ ලේකම්, සහ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වන ඉන්දීය පරිපාලන සේවයයේ ශ්‍රී වී. ශ්‍රීනිවාස්, ප්‍රධාන කොටගත් ඉහළ පෙළේ නිල දූත පිරිසක් 2024 ජුලි 07 සිට ජූලි 09 දක්වා ශ්‍රී ලංකාවෙහි සිදු කළ නිල දූත ගමනක් සාර්ථක ව අවසන් කරන ලදී.

ඵලදායී සාකච්ඡා සහ උපාය මාර්ගික රැස්වීම් සිදු කෙරුණු මෙම දූතගමනේ දී, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ ධාරිතා ගොඩනැංවීමේ සහාය වැඩිදියුණු කිරීමට මංපෙත් විවර කෙරිණි.

කීර්තිමත් දූත පිරිසට පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී එන්.බී.එස්. රාජ්පුත්, යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ සහාය මහාචාර්ය ආචාර්ය ඒ.පී. සිං, යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ප්‍රෙස්කා මැතිව් මහත්මිය, සහ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ පුහුණු පීඨයේ පර්යේෂණ සහකාර ආචාර්ය මුකේෂ් භණ්ඩාරි, ඇතුළත් වූ අතර, 2024 ජූලි 7 වන දින පැමිණි ඔවුහු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ හ.

දෙදින ඉහළ පෙළේ දූත ගමනේ විශේෂිත අවස්ථාවක් වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සමඟ, 2024 ජූලි 9 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති සුහද හමුව යි. ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පරිපාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි ඉන්දියාවේ "අසල්වැසියන් පළමුව" ප්‍රතිපත්තිය යටතේ වන ස්ථීරසාර කැපවීම පිළිබඳ ව මෙම හමුවේ දී අවධාරණය කෙරිණි.

දෙරට අතර සහයෝගීතා ප්‍රයත්නයන් තව දුරටත් ශක්තිමත් කරමින් දූත පිරිස ජනාධිපති ලේකම් සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා හමුවී සුහද සාකච්ඡා පැවැත්වූ හ. මෙම නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ ඵලදායී රැස්වීම් මාලාවක නිරත වූ හ. පසු විපරම් සාකච්ඡා සැසියක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්වුණු අතර එහි දී අවබෝධතා ගිවිසුමක් හරහා දෙපාර්ශවය අනාගත සහයෝගීතාවයට එකඟතාව පළ හ. යෝජිත දැනුම සවිබල ගැන්වීමේ ක්‍රියාකාරකම් මඟින් දළ වශයෙන් ශ්‍රී ලාංකික සිවිල් සේවකයන් 1,500ක් පමණ සංවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ධාරිතා සංවර්ධනය සහ රාජ්‍ය පරිපාලනය සහ පාලනය පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. මෙම මුලපිරීම මඟින් ඉහළ මට්ටමේ යහපාලනයක් සහිත ව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට ප්‍රබල ලෙස බලපෑමක් ඇති කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

ශ්‍රී වී. ශ්‍රීනිවාස් මහතා විසින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 150 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් "මධ්‍යගත මහජන දුක්ගැනවිලි නිරාකරණය කිරීමේ පද්ධතිය: සුහුරු රාජ්‍යකරණය සඳහා පදනමක්" යන මැයෙන් හරවත් දේශනයක් ද පවත්වන ලදි. මෙම සැසිවාරය මඟින් ඉන්දියාවේ ඉතා කාර්යක්ෂම මහජන දුක්ගැනවිලි විසඳීමේ ක්‍රමයේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනයට එහි ඇති විය හැකි අදාළත්වය පිළිබඳ ව අවධාරණය කරන ලදි.

උප්පැන්න, විවාහ, මරණ සහතික ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි නිකුත් කරන රෙජිස්ට්‍රාර් අංශයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස නියෝජිත පිරිසට ආරාධනා කරන ලදි. මෙම සංචාරයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ වූ දිවා භෝජන සංග්‍රහ සහ රාත්‍රී භෝජන සංග්‍රහ කිහිපයක් ද ඇතුළත් වූ අතර අන්තර්-පුද්ගල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවිධිමත් අන්තර්ක්‍රියා සඳහා අවස්ථාවන් එ මඟින් නිර්මාණය කෙරිණ.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වෙමින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයකනය හා යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථෘනය අතර පස් අවුරුදු (2024-2028) සහයෝගීතාවයක් සඳහා පැහැදිලි මාර්ග සිතියමක් සමඟින් දෙ දින නිල දූතගමන සාර්ථක ව අවසන් කරන ලදි. රාජ්‍ය සේවා සැපයීමේ සිදු කෙරෙමින් පවත්නා ප්‍රතිසංස්කරණ සහ ධාරිතා සංවර්ධනය සඳහා ශක්තිමත් හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙ රටේ ම පූර්ණ කැපවීම නැවත වරක් අවධාරණය කරන ලදි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය