“රට හමුවේ ඇති බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනිම කෙරෙහි ජනාවාසකරණයේ දී සැලකිලිමත් විය යුතුයි. හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇද කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය ලබාදීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ නැහැ” - අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ අද (02) බත්තරමුල්ලේ සෙත්සිරිපායේ පැවැති ලෝක ජනාවාස දින උත්සවය අමතමිණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය එය සංවිධානය කර තිබිණි. “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාවයි.

මිනිස් සමාජයේ මුලික මිනිස් අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට ලෝකයේ නිරන්තර උත්සාහයක යෙදී සිටිනවා. ඒ සදහා රටවල් අතර, ජාතීන් අතර, සංවිධාන අතර යම් යම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් එකඟතාවයන්ට එළඹෙනවා. බොහෝ කළකට පෙර ආහාර, නිවාස හා ඇඳුම් මිනිස් සමාජයේ මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්තා. අපි තවමත් ඒ ඉලක්කයට ගමන් කරමින් සිටිනවා. අපේ රට දීර්ඝ කාලයක සිට විශාල පරිශ්‍රමයක යෙදෙමින් එහි ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා. තවමත් ලොවට මේ ගැටළුව විසඳා ගැනීමට නොහැකි වූ බව මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කර සිටියා. ඒ අපි වැනි කුඩා රටවල් වෙනුවෙන්.

මේ හැම නගරයක් වටේම පැල්පත් තිබෙනවා. දුක්ඛිත ලෙස ජීවත් වෙන අය වෙනුවෙන් වෙනම දිනයක් වෙනම වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන යෝජනාව එවකට අපේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා ලෝක ජගත් හමුවට ඉදිරිපත් කළා එය ලෝක ජගත් සමුළුවේ සැලකිල්ලට භාජනය වුණා. එක්සත් ජාතික ජාතීන්ගේ සංවිධානයඑම යෝජනාව පිළිගන්න සිදුවුණා. ඉන්පසු එම වැඩ පිළිවෙළ තව තවත් ඉදිරියට ගෙනයන්න අපේ රාජ්‍ය නායකයන්ට හැකි වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ අපේ රටේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ලක්ෂ ගණනාවක් හිමි කර දී තිබෙනවා. ඒ වගේම නිවාස ඉදිකර ගැනීමට විවිධ වැඩසටහන් සකස් කරමින් සහාය දැක්වූවා.

මේ ජනාවාසවල ජීවත්වන දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවයට පවිත්‍ර ජලය වගේම අනාගත පැවැත්ම තහවුරු කිරීමට අධ්‍යාපනය අවශ්‍යයි. ඒ කරුණු මත, ජීවිත අවශ්‍යතාවයන් සපුරාලිය හැකි ජනාවාසයක් ඉදිකර ගැනීමට සඳහා අප කැප විය යුතුයි.

අපේ භූමි භාගය වැඩිවෙන්නෙ නැහැ. ඒ වගේම නාගරික භූමි ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කරගත යුතුයි. එසේ නොකළහොත් අපිට මීටත් වැඩිය ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. ලෝක ජනාවාස දිනය වන අද දිනයේදී ජනතාවගේ ජන ජීවිතය රුකුලක් වන දේ, ආරක්ෂාව, හා දියුණුව ඇති කළ හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා වෙනු ඇතැයි විශ්වාස කරනවා.

අද අපේ අභියෝග වෙනස් වෙලා. අන්ධානුකරණයෙන් බලපු කාලය ඉවරයි. තවදුරටත් හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇදීමේ අවශ්‍යතාවයක් නැහැ. කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නැහැ. ඒ බව ඔප්පු වෙලා ඉවරයි. අද අපට තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනීමයි. ඒ නිසා අලුතෙන් හිතන්න ඕනේ. වියදම් අඩු කරගන්න ඕනේ. පරිසර හිතකාමී ලෙස අලුත් තාක්ෂණයට පිවිසෙන්න ඕනේ. ඒ සදහා අපට සහයෝගයක් දෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම්. ඒ ආකාරයෙන්ම අනෙකුත් සෑම කෂේත්‍රම සැලසුම් කරගැනීමේ අභියෝගෙ අප ජය ගත යුතුමයි.

මෙම අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක් විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. එස්. සත්‍යානන්ද, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලයේ වැඩසටහන් කළමණාකරණ නිළධාරී Mr. Salem Karimzada යන අය ද එක් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය