ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට විධිවිධාන සලසා ඇතැයි අග්‍රාමාත්‍යවරයා යුරෝපා සංගමයේ නියෝජිතයන් හමුවේ පවසයි...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ (EOM) මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අතර (ExM) සාකච්ඡාවක් අද (2024.06.07) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දූත පිරිස ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණවලට අදාළ ගැටළු සාකච්ඡා කළ අතර රජය සහ මැතිවරණ කොමිසම සමඟ ගිවිසුමකට එළඹීම සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ ක්‍රම පිළිබඳව පැහැදිලි කළහ.

මීළඟ මැතිවරණය සම්බන්ධයෙන් කටකතා පැතිර යන බව ඔවුන් ප්‍රකාශ කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඉතා පැහැදිලිව පවතින බවත් දැනටමත් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බවත්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණය පවත්වන බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට විධිවිධාන සලසා ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දිවයින පුරා පළාත් නවයටම නිරීක්ෂකයන් යොදවා මැතිවරණ නිලධාරීන්, අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ, මාධ්‍ය නියෝජිතයන්, දේශීය නිරීක්ෂකයින් සහ ඡන්දදායකයින් හමුවීමට නියමිත බව නියෝජිත කණ්ඩායමේ නායක මෙට් බක්කන් පැවසීය.

යෝජිත මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය නීති අධ්‍යක්ෂ ජයතිස්ස ද කොස්තා මහතා යුරෝපා සංගම් නියෝජිත පිරිසට පැහැදිලි කළේය.

යුරෝපා සංගම් දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් පැවසුවේ මැතිවරණයෙන් දින 2 කට පසු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම මූලික වාර්තාවක් සහ සති දෙකක කාලයක් ඇතුළත සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.

යුරෝපා සංගමය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්‍ෂණයේ ගෝලීය වශයෙන් පිළිගත් සහ විශ්වසනීය ක්‍රියාකාරිත්වයක් උසුලයි.

2000 වසරේ සිට, යුරෝපා සංගමය රටවල් 65කට වැඩි ගණනකට මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩල (EOM) 180කට අධික ප්‍රමාණයක් යොදවා ඇත.

දූත පිරිසට යුරෝපා සංගමයේ නියෝජ්‍ය නියෝජිත ප්‍රධානී Lars Bredal, කණ්ඩායම් නායක Mette Bakken, අංශ ප්‍රධානී Kari Kasmann, ප්‍රතිපත්ති නිලධාරි Laure Philippe-Kagan සහ දේශපාලන විශේෂඥ Inta Lase ඇතුළත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ජාත්‍යන්තර කටයුතු සහ මාධ්‍ය පිළිබඳ උපදේශක සුගීස්වර සේනාධිර, නීති නිලධාරිනී ගයනි ප්‍රේමතිලක යන අය මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය