ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්..චීන ආයෝජනද ඉහලට- චීන රාජ්‍ය තාන්ත්‍රිකයෝ අගමැති හමුවේ අවධාරණය කරති

ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා පිළිබඳව චීනය ධනාත්මකව සලකා බලමින් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී උප ඇමති චෙන් ෂූ (Chen Zhou) මහතා පවසයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ගන්නා හොඳ ආරංචියක් ඉතා ඉක්මනින්ම අසන්නට ලැබෙනු ඇතැයි ඔහු කියා සිටී. ඔහු ඇතුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද අරලියගහ මන්දිරයේ දී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරුණි. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනය සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට සහතිකයක් ද මෙහි දී ලැබුණි.

ශ්‍රී ලංකාව චීනයේ විශේෂ මිතුරෙකි. වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහය වන්නේ කෙසේදැයි තම රට කරුණු සලකා බලමින් සිටින බව ද එම නියෝජිත පිරිස පැවසූහ. දෙරට අතර ද්විපාර්ෂික සහයෝගිතාව වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිලිබදව ද සාකච්ඡාවට බඳුන් විය. ඉදිරි වසරවලදී බොහෝ ක්ෂේත්‍ර වල චීන ආයෝජන ඉහළ යනු ඇති බවත් ඔහු සඳහන් කළේය . මහජන එක්සත් පෙරමුණ වැනි ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සමග ඉතා මිත්‍රශීලීව කටයුතු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සෑම අවස්ථාවකදීම කැමැත්තෙන් සිටි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙන්ම ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා චීනයේ සහය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය. වෘත්තීය සමිති සහ සමාජවාදී දේශපාලන පක්ෂ ආවරණය වන පරිදි ජනතාව ජනතාව අතර සබඳතාව අවධාරණය කරමින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය අගමැතිවරයා සිහිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ චෙන් ෂූ මහතා, ණය ප්‍රතිව්‍යුහගතකරණය ට චීනය සහයෝගය දක්වන බව අවධාරණය කළේය. චීනයේ අමාත්‍යාංශ සහ මූල්‍ය ආයතන කීපයක් මෙම ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමීපව ක්‍රියා කරමින් සිටින බව ඔහු කීවේය. ඒ පිළිබඳ සුබවාදී ප්‍රතිචාරයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැක. අග්‍රාමාත්‍යවරයාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතා චිනයේ ශ්‍රේෂ්ඨ මිතුරකු බව සඳහන් කළේය. මව වන කුසුමා ගුණවර්ධන මහත්මිය චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ප්‍රථම සභාපති වූ බව දැනගැනීමට ලැබීම සතුටට කරුණක් බව ද හෙතෙම කීවේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ විසිවැනි ජාතික කොංග්‍රසයේ දී ගනු ලැබූ තීරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ව දැනුවත් කළ ඔහු චීන ජනාධිපති Xi Jinping මහතාගේ ප්‍රතිපත්ති යටතේ සංවර්ධනය වෙමින් පවතින මිත්‍රශීලී රටවල් සමග සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම අදහස බව කීවේය. මහජන එක්සත් පෙරමුණේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, වැඩ බලන චීන තානාපති Hu Wei, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, IDCPC, Xu Min, උපදේශක Chen Xiangyuan, IDCPC අධ්‍යක්ෂ Li Jinyan සහ ප්‍රධාන දේශපාලන නිලධාරී , Luo Chong යන මහත්තවරු ද මෙම අවස්ථාවට එක්වූහ.