ආර්ථික අර්බුදය හමුවේත්, වත්මන් රජය රාජ්‍ය සේවකයින් රැකගත්තා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ඉදිරි මාස කිහිපය ඇතුළත ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.12.06 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති “අලුත් ගමක් - අලුත් රටක්” ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන, ගම්පහ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

ගිය අවුරුද්දේ, ඉතිහාසයේ කවදාවත් මුහුණ නොදුන් ආර්ථික හා මුල්‍ය ගැටළුවකට අපි මුහුණ දුන්නා. එය දේශපාලන වශයෙන් හොඳ නරක තිබුණත් මූල්‍ය අර්බුදයකට පිවිස තිබෙන බව රජය පිළිගත්තා. ඒ අනුව ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කළා. ලංකාව අයි. එම්. එෆ්. එකට ගිය පළමු අවස්ථාව මෙය නෙවෙයි. ලෝක බැංකුවට ගිය පළමු වතාව නොවෙයි. හැම ආණ්ඩුවක්ම ඔවුන් සමඟ කටයුතු කළා.

මේ වගේ ආර්ථික කඩා වැටීමකට මැලේසියාව මුහුණ දුන්නා. සියලු රාජ්‍ය ක්ෂේත්‍රය දියුණු කර ආර්ථිකය පණ ගැන්වපු මැලේසියාවේ අද දියුණු ආර්ථිකයක් තියෙනවා. ඒ වගේම යුරෝපයේ රටවල් කඩා වැටුණා. එහිදී ගත්ත පළවෙනි තීරණය මම සිහිපත් කරනවා. ග්‍රීසිය පළමුවෙන්ම තමන්ගේ රාජ්‍ය සේවකයින්ගෙන් භාගයකට ගෙදර ඉන්න කිව්වා. විශ්‍රාමිකයින්ට ගෙවන්න බැහැ කිව්වා. අපි එහෙම කළේ නැහැ. අපි ආණ්ඩුවක් ලෙස අයි. එම්. එෆ් එකටත් ලෝක බැංකුවටත් දැඩිව කිව්වා, අපි ඒ විසදුමට ගමන් කරන්නේ නැති බව. ඒ අනුව සියලු රාජ්‍ය සේවකයින්ට තමන්ගේ සේවය පවත්වා ගෙන යන්න පුලුවන් තත්ත්වය ඇති කර තිබෙනවා.

ග්‍රාම සේවා කොට්ඨස 14000ක් තියෙනවා. ග්‍රාම නිලධාරී සේවාව සදහා වූ සේවා ව්‍යවස්ථාව තව මාස කිහිපයකින් ගෙන ඒමට අපි කටයුතු කරනවා. අඛණ්ඩ ආර්ථික වර්ධනයකට රට යොමු කිරීමේ ප්‍රමුඛතාවය ඇතිව අපි එකතු වෙලා කටයුතු කරමු. ග්‍රාම සේවක කොට්ඨාශයක රාජ්‍ය සේවකයින් කිහිප දෙනෙක් ඉන්නවා. දිසාපති භාරයේ සංවර්ධන කමිටු නායකයින් විසින් දෙන උපදෙස් අනුව දිස්ත්‍රික්කයක් හැටියට සංවර්ධන කමිටු සැලැස්ම ඔවුන් ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා. ග්‍රාමීය මට්ටමේ සංවර්ධන සැළසුමක් ඇති කරන්න අවශ්‍යයි. මෙහිදී වැදගත් කරුණු රැසක් හෙලි වුනා. සෑම ග්‍රාම සේවක කොට්ඨාසයකම පසුගිය වසරට වඩා නිශ්පාදනය වැඩි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආහාර නිෂ්පාදනය හෝ වෙනත් කාර්මික, භෝග හෝ අමුද්‍රව්‍ය හෝ එකලස් කරන කර්මාන්ත වෙන්න පුළුවන් ආයෝජනයන් වෙන්නට පුළුවන්. මේ 2024 අවුරුද්ද අනිවාර්යයෙන්ම ආර්ථික වර්ධනයක් සිදුවෙන අවුරුද්දක් බව අපිට විශ්වාසයි.

සෑම ගමකම තොරතුරු එකතු කරලා සංවර්ධන සැලැසුම් සැකසීමට අපි දැන් අවතීර්ණ විය යුතුයි. සංවර්ධන සැළසුමක ප්‍රධානත්වය නිෂ්පාදනය වැඩිකිරීමට, අලුත් විවිධ ක්ෂේත්‍ර ඇති කර ගැනීම අලුත් රටක් අලුත් ගමක් වැඩසටහනින් හදුන්වා දුන්නා. ආහාර අතින් ස්වයං පෝෂිත වීම අපි අරඹා තිබෙනවා. හැම ගමක්ම හැම දේකින්ම ස්වයං පෝෂිත වෙන්න බැහැ. අස්වැසුම වැඩසටහනට ලෝක බැංකුව ජාත්‍යන්ර මූල්‍ය අරමුදල එකග වෙලා වැඩිහිටියෝ සදහා සුවිශේෂ කොටසක් වෙන් කරලා තියෙනවා. වැඩිහිටියන්ට ලැබෙන දීමනා වල අඛණ්ඩ වර්ධනයක් විය යුතුයි. අයවැය ලේඛනයේ මේ පිළිබද වැය ශීර්ෂ වැඩි කළේ ඒ සඳහායි.

වැඩිහිටියන් හා වෙනත් රෝගවලට භාජනය වූ අය සියල්ල ආවරණය කිරීමට අපි බැදී සිටිනවා. දිසාපතිතුමාට පුළුවන් සෑම ප්‍රාලේ කොට්ඨාසයකින්ම තොරතුරු ගෙනවිත් තොරතුරු එක්තැන් කරන්න. ඒ නිසා මේ තොරතුරුවලින් දිසිත්‍රීක්කයේ ආබාධිත,වැඩිහිටි, රෝගවලට බඳුන් වී අක්‍රීය සියලු දෙනා ආවරණය කර ගැනීමට මැදිහත් විය යුතුයි. අපි ඉන්නේ රාජ්‍ය සේවයේ.

අධ්‍යාපනය හමාර කර පිටවෙන දරුවන්ට ජීවන වෘත්තීය හා පුහුණුව සහතික කරන්න අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. එම වැඩසටහන් හදුනාගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාව යළිත් සිහිපත් කරනවා.

රාජ්‍ය අංශයට සෑම කටයුත්තක්ම කළ නොහැකි නිසා පෞද්ගලික අංශයේ සහාය අවශ්‍යයි. විදේශ ආයෝජන කැඳවා ගැනීමෙන් ඇති කළ හැකි හවුල් ව්‍යාපාර තුළින් තවදුරටත් ආර්ථිකය වර්ධනය කළ හැකියි. එලෙස කල්පනාවෙන් කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන් මැදිහත් විය යුතුයි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නලින් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මිලාන් ජයතිලක, යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් යසරත්න, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල, ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය