වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, කෘෂිකාර්මික සහ සංස්කෘතික සබඳතා පිළිබඳව අගමැති සහ චීන තානාපති සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Shenhong මහතා අතර හමුවක් කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී 2022.07.29 දින සිදුවිය.

පළමුව දෙරට අතර ඓතිහාසික ද්විපාර්ශික සබඳතා පිළිබඳව අනුස්මරණය විය.
චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා විසින් ශ්‍රී ලංකා නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත එවන ලද සුභාශිංසන පණිවිඩය තානාපතිවරයා විසින් නිල වශයෙන් භාර දෙන ලදී.
චීනය හා ශ්‍රී ලංකාව අතර පවත්නා ආර්ථික, කෘෂිකාර්මික, සංස්කෘතික සබඳතා පවත්නා ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය විය.
දැනට ශ්‍රී ලංකාවේ පවත්නා ආර්ථික අර්බුදයට චීනය ලබාදෙන සහන අගයමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ දීර්ඝ කාලීන විසඳුම් වශයෙන් අත්‍යාවශ්‍ය සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකාර්මික, පුනර්ජනනීය බලශක්ති, වාරි කර්මාන්තය හා ජලසම්පාදන ක්ෂේත්‍රවල ආයෝජනයන් අපේක්ෂා කරන බව ය.
එමෙන්ම දැනට පසුබෑමකට ලක් වී ඇති චීන සංචාරකයන් නැවත ලංකාවට යොමුකිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
දකුණු පළාත කේන්ද්‍ර කරගත් හම්බන්තොට ආර්ථික කලාපය ආශ්‍රිත කර්මාන්ත මෙන්ම කෘෂිකර්මාන්තය ආශ්‍රිතව චීන ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක වනු ඇතැයි චීනය අපේක්ෂා කරන අතර, චීනයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්කරුවකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව තානාපතිවරයා ප්‍රකාශ කරන ලදී.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරයට අමාත්‍යවරයා සුභාශිංසන පළ කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්විය.