පාසල් රැක ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන නිලධාරින් ගැඹුරු ලෙස අවධානය යොමු කළ යුතුයි... - ග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මේ වන විටත් වැසී ගොස් ඇති පාසල් සංඛ්‍යාව අටසීයක්...

පාසල් වැසීයාම වෙනුවට පාසල් රැක ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපනයේ නිලධාරින් ගැඹුරු ලෙස අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (2023.10.16) කොළඹ, ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට අනුබද්ධ කළ වැල්ලවත්ත වෛශාක විද්‍යාලයේ මාතික මාතා උපහාර නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවේදීය.

ඊ.එස්. ප්‍රනාන්දු මහතාගේ ධන පරිත්‍යාගයෙන් 1935 වසරේ ආරම්භ වූ මෙම වෛශාක විද්‍යාලය 2016 වසර වන විට වැසීයන පාසැලක් ලෙස නම්කොට තිබූ අතර එවකට ශ්‍රී දේවි ද සිල්වා නම් වූ වත්මන් මාතික මාතා ශීල මාතාවගේ මැදිහත් වීමෙන් යලි පනගන්වා බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය සමග ඒකාබද්ධ කිරීමට කටයුතු කරන ලැබීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

‟මේ වනවිටත් වැසීගොස් ඇති පාසල් සංඛ්‍යාව අටසීයක්. පාසල් වැසී යාමේ ගැටළුව පිළිබඳව ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු දරන සියලු දෙනා ගැඹුරින් කල්පනා කළ යුතුව තිබේනවා. අපට කිසි දවසක රජයෙන් පාසල් වැඩියෙන් ලැබුණේ නැහැ. අපේ අය ඉඩං කඩං අරන් අමාරුවෙන් හදපු ඉස්කෝල තමයි මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම තැනකට ගෙනල්ලා තියෙන්නේ. එය අපි අමතක නොකළ යුතුයි.

ජාතික අධ්‍යාපන වැඩපිළිවෙළක් සඳහා සියලු පාසල් ඒකාබද්ධ කර ගැනීමේ වැඩසටහන යටතේ අප රට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබාගත හැකි උපරිම ස්ථානයන්ගේ හිමිකාරකත්වයට පැමිණ තිබෙනවා. තවත් ලෝකයේ අභියෝග දිනාගැනීමට ගමන් කළ යුතුව තිබෙනවා.

ඊ. එස්. ප්‍රනාන්දු පවුල වැල්ලවත්තේ අභිමානවත් පවුලක්. වැල්ලවත්ත ජාතියේ අභිමානවත් අනන්‍යතාවයක්. ඊ. එස්. ප්‍රනාන්දු මැතිතුමා ගැන සිහිපත් කරනකොට වෛශාක විද්‍යාලය එවැනි ගැඹුරු නමකින් බිහිවී අද වනවිට බොහෝ මාවත්වලට ශිෂ්‍යාවන් ගමන් කර තිබෙනවා. වැසීයාමට නියමිතව තිබූ වැල්ලවත්ත වෛශාක විද්‍යාලය මෙම තත්වයට ගෙන ඒමට මාතික මාතා ශීල මාතාව ගත් නොපසුබට වීර්යය ඉතා වටිනවා.

ලෝක ප්‍රසිද්ධ නෝබල් ත්‍යාගලාභී පැබ්ලෝ නෙරුඩා වැල්ලවත්තට ඇදී ආවේ සාහිත්‍යමය තෝතැන්නක් නිසයි. වැල්ලවත්තේ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීම ජාතියක් ලෙස අපට ඉතාම වැදගත්.

වගකීම් හා යුතුකම් කියලා දෙකක් අපිට උගන්වලා තියෙනවා. අපට තියෙන වගකීම අප දරන තනතුරයි. යුතුකම් කියන්නේ මිනිස් සමාජයේ අපට තිබෙන යුතුකමයි. ඒ නිසා මේ දරුවෝ කියන්නේ අපේ රටේ අනාගත පරම්පරාවයි. යුතුකම් වැඩියෙන් ඉටුකරමින් වගකීම ඉටු කිරීමේ කාර්යභාරය ඉටු කළ යුතුයි.

මේ තරම් සාර්ථක පාසලක් වැසී යනවා බලාගෙන ඉන්න පුළුවන් ද. මේ පාසැල නිලධාරීන්ට හොඳ ඇස් ඇරිල්ලක්. අග්‍රාමාත්‍යවරයා හැටියට මගේ යුතුකම මේවා සිහිපත් කිරීම. අපේ ප්‍රභූවරු ඈත පළාත්වල හදලා අපට දුන්නු පාසැල් අටසීයක් වහලා තියෙනවා. මේක තමයි සංඛ්‍යා ලේඛනය.

යම්කිසි වස්තුවක් අධ්‍යාපනයට ලැබෙනවා නම් අධ්‍යාපනයට දායාද කරනවා නම් එය නිර්මාණශීලීව පාසලට එකතු කරගමු. දරුවන් භාෂා තුනෙන්ම දැනුමක් ඇති දරුවන් බවට පත් කරන්න පුළුවන් නම් ඔබ තවත් පරිච්ඡේදයක් ඉටු කරනවා. පස්වන ශ්‍රේණියෙන් පිටව යනවිට ඉටුකර ගත හැකි අනාගතය සඳහා තොරතුරු තාක්ෂණ දැනුම ද එක්කර ගැනීමට උනන්දු වෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමි ඇතුළු මහා සංඝරත්නය, මාතික මාතා ශීල මාතාව, හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, විද්වතුන්, දානපතීන්, ගුරු දෙගුරුන්,සිසුදරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය