රටක මහජන සේවාවේ වැදගත්ම පුරුක පළාත් පාලනයයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2024.07.15 දින බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හී ස්ථිර නොවූ, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් තාවකාලික, සහන පදනම් සේවකයින් 1720ට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“පළාත් පාලන ආයතනවල සේවය කරමින් සිටි ඔබ ස්ථිරත්වය ලබන දිනය අදයි. ඔබ වෙනුවෙන් මේ දිනය උදා කිරීමට ආණ්ඩුවටත්, පළාත් සභාවටත්, අපේ අමාත්‍යංශයටත් විශාල ශක්තියක් වුන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට ස්තූතිවන්ත වෙනවා. එතුමා මන්ත්‍රීවරුන්ගේත්, ඔබේත්, රාජ්‍ය අමාත්‍යංශයේත් හඩ ඉදිරියට ගෙනාවේ අපේ රට අඛණ්ඩව මූල්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටි අවස්ථාවකයි.

පසුගිය වසර අපට බොහෝම දුෂ්කර වසරක් වුණා. සිටි තැනින් හිස එසවීමේ දැවැන්ත භාරකාරත්වය ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සියලු අභියෝග මැද පළාත් පාලන ආයතනවල අස්ථිර, තාවකාලික, කොන්ත්‍රාත් සේවකයින් වෙනුවෙන් විශේෂ සහයෝගයක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වුණා. අපේ මන්ත්‍රී කණ්ඩායම පළමුවෙන් ඔබ වෙනුවෙන් කතා කරපු දවස, අපේ වෘත්තීය සමිති එකමුතුව ඔබ වෙනුවෙන් කතා කරපු දවස වගේම ජනාධිපතිතුමා හා අප මුණ ගැසුනු අවස්ථාවේත් මූල්‍ය තත්ත්වයේ අමාරුකම නිසා ඔබව ස්ථිර කරන්න බැහැ කිව්වේ නැහැ. තාවකාලික හෝ කොන්ත්‍රාත් ඉන්න කිසිම සේවකයෙක් අයින් කරන්න එපා යි එතුමා උපදෙස් දුන්නා. ආර්ථිකය ජය ගෙන ප්‍රශ්නය විසදන්න ශක්තියක් ලැබෙන තෙක් අඛණ්ඩව ඔබේ සේවා කාලය දිගු කරමු කිව්වා. ජනාධිපතිතුමා ඒ විශ්වාසය අපිට ලබා දුන්නා. මහජනයා කෙරෙහි තිබුණු විශ්වාසයයි, අමාරු තත්ත්වයෙන් රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසයයි එතුමාට තිබුණා. පසුගිය වසරේ අපේ අමාත්‍ය මණ්ඩලයත් ජනාධිපතිතුමත් සාකච්ඡා කර අභියෝග රැසකට මුහුණ දෙමින් සරලව ඒ ප්‍රශ්න හරහා ගමන් කළා.

ඔබ කුමන රැකියාවක් කළත් අද ස්ථිර පත්වීමක් ලැබුණා. මේ දවස අමතක නොවන දිනයක් විදියට බොහොම ආඩම්බරයෙන් කතා කරන්න. ඔබේ ජිවිතයේ අලුත්ම පරිච්ඡේදයකටයි අවතීර්ණ වෙන්නේ. අපි ඔබගෙන් ඉල්ලන්නේ තමන්ගේ රාජකාරිය එලෙසම ඉටු කරන්න. වෙලාව පිළිබඳවත් නොසලකමින්, මුහුණ දෙන්න වෙන තත්ත්වයන් ගැන නොසලකමින් පළාත් පාලනය හරහා ඉටු කරන ජනතා සේවය ඔබ එලෙසම ඉටු කර තිබෙනවා. ඉදිරියටත් එසේම ඔබේ සේවය ලබා දෙන්න.

රටක මහජන සේවාවේ වැදගත්ම පුරුක පළාත් පාලනයයි. ඈත එපිට ගම්වල වාහනයක් දකින්න නැති, කඩමණ්ඩියක් නොපෙනෙන ගම්වලට සභාපතිවරයා හෝ මන්ත්‍රීවරයා හරහා පළාත් පාලන සේවය ගමන් කරන්නේ ඔබේ සහායෙන්. ඔබේ ජීවිතයට පමණක් නොවෙයි ඔබ සේවය කරන ආයතනයත් ලද ජයග්‍රහණයක් ලෙස ආයතනයත් ආරක්ෂා කරගනිමින් ඔබේ ආයතනය ඉදිරියට ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. ”

බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මහතා

අගමැතිතුමා මහජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා සේවකයාගේ පැත්ත ගන්නවා. එතුමාගේ ඉතිහාසය එහෙම එකක්. එතුමා මේ අවස්ථාවෙත් ඔබ වෙනුවෙන් පෙනි සිටියා. අගමැතිතුමා කැබිනට් පත්‍රිකාව දානකොට ඒ පිටුපස ජානක වක්කුමුර රාජ්‍ය ඇමැතිවරයාත් හිටියා. අද ස්ථිර පත්වීම් ලබන ඔබ සියලු දෙනා නිවාඩු දිනවලත් සේවය කළා. කම්කරු දිනයේ පවා ඔබ සේවය කරනවා. මහජනතාව සමඟ සම්බන්ධ වන අත්‍යාවශ්‍ය පුරුකක් ඔබ. අද පත්වීම ලැබීමෙන් පසුව ඔබේ කාර්යක්ෂමතාවය තවත් වැඩි වෙන්න ඕනේ.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා

වසර ගණනාවක් ස්ථිර නොකළ සේවකයින් අටදහස් ගණනක් සිටින දැනගත්තාට පස්සේ ඔබ ස්ථිර කරන්න නව වතාවක් කැබිනට් පත්‍රිකා දාලා දෙවතාවක් අනුමත කරන්න උනා. පත්විම ස්ථිර වුනත් විශ්‍රාම වැටුප නොලැබෙන්න ගිය නිසා අගමැතිතුමාට දෙවැනි වරටත් කැබිනට් අනුමතිය ගන්න වුණා. එබේ පත්වීම ස්ථිර කරලා දෙන්න ලොකුම කාර්ය භාරය කලේ අගමැතිතුමා. කිසිම පැකිලීමකින් තොරව මේ දරුවෝ ස්ථිර කරලා පවුලේ අයත් එක්ක සතුටින් ජිවත් වෙන්න අවස්ථාව දෙන්න ඕනේ කියලා අගමැතිතුමා කිව්වා. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිව්වෙත් මුදල් අමාත්‍යංශයේ ගැටළු විසදලා ඉක්මනින් මේ වැඩේ කරනවා කියලා. වැඩ කරන දින ගණනට අනුවයි ඔබට වැටුප් ලැබුනේ.

පහුගිය මාසේ 11 වැනිදා ඉදලා ඔබ ස්ථිර සේවකයෙක්.රජයෙන් ලැබෙන වරප්‍රසාද හිමියි. දැන් ඔබේ කාලාත්‍රයාට දරුවන්ට ඔබේ ප්‍රතිලාභ හිමිවෙනවා. අපේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඔබ වෙනුවෙන් තවත් ෆයිල් අටදහස් ගණනක් විවෘත කරන්න වෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, නලීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, මදුර විතනගේ, යදාමිණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර, ඒ. එච්. එම්. ෆවුසි, සංජීව එදිරිමාන්න, අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, බස්නාහර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ. විජේසිංහ, දිසාපතිවරුන් ඇතුළු පළාත් පාලන ආයතන ලේකම්වවරු, රාජ්‍ය නිලධාරීන් හා පත්වීම්ලාභීන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය