එක්සත් ජනපද-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම සහ ඇමරිකානු ආයෝජන වැඩිදියුණු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමා එක්සත් ජනපද තානාපතිතුමිය සමඟ සාකච්ඡා කරයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චං (Julie Chung) මහත්මිය අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2022.07.28 දින සිදුවිය.
ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර වන දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා වෙළඳ සබඳතා සෑම කාලවකවානුවකම ලබාදීමට අඛණ්ඩව කටයුතු කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා අගය කළේය.
ශ්‍රී ලංකව මුහුණ දුන් මෙම බැරෑරුම් අවස්ථාවේදි ඇමරිකා එක්සත් ජනපදය ලබාදුන් හදිසි මූල්‍ය ආධාර රටට මහත් ශක්තියක් වූ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදීද මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ සහ බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සහාය අපේක්ෂා කරන බවත් ඇමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික අංශයේ සෘජු ආයෝජන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තාක්ෂණ හා මූල්‍ය සහාය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පුළුල් ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය ද කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින් ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අභියෝග හමුවේ ඇමරිකා එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ශක්තිමත්ව ලබාදීමට අපේක්ෂා කරන බව තානාපතිවරිය පැවසීය.
පවත්නා දේශපාලනික අර්බූදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ඔස්සේ සමථයකට පත්කර සියලු පක්ෂ එක්ව රජයක් නිර්මාණය වනු දැකීම ඇමරිකා එක්සත් ජනපදයේ අපේක්ෂාව බව තානාපතිවරිය පැවසීය.
එය ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ආයතන පද්ධතින්ගේ සහාය හා ද්විපාර්ශික ආයෝජන සඳහා එමඟින් වැඩිදුරටත් කවුළුවක් විවර වන බව තානාපතිවරිය පැවසීය.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය කිසිදු අයුරකින් ප්‍රචණ්ඩත්වයන් හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාදාමයන් අනුමත නොකරන බවට ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්විය.