වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයින්ට ප්‍රනාමය... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන් ස්ථිර කිරීමේ 2024.07.12 දින යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

යාපනය පුස්තකාලයට පොත් ලබාදීමක්ද මෙහිදී සිදුවිය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

"අපේ ජීවිත කාලය තුළ පෙර නොවූ විරූ ආර්ථික, මූල්‍ය අර්බුදයකට අපි මුහුණ දුන්නා. මූල්‍ය අර්බුදය ජය ගැනීමේ කර්තව්‍යයට සහ අභියෝගයට ජනාධිපතිවරයාත් අගමැතිතුමා මමත් මුහුණ දුන්නා. බොහෝ මහජන නියෝජිතයින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ගෙන ඒමට මූලික වීම අර්බුදය විසදීමට ඉහළ ශක්තියක් වුණා.

එදා අපි මුහුණ දුන් දුෂ්කරතා යාපනේ කම්කරුවන් දන්නවා. ඔවුන් පියවරෙන් පියවර ඒ අර්බුදය විසදීමට සහාය වුණා.

පසුගිය මාස 24 තුළ ආර්ථික අභියෝගය ජය ගැනීමට රට වැසියන්ගෙන් ලැබුණු සහය නිසයි ජාත්‍යන්තර ව මේ විශ්වාසය ඇති වී සාධනීය වර්ධනයක් අත් කරගත්තේ.

වැඩි යමක් සාක්ෂාත් කර ගැනීම සඳහා අපි යම් රාමුවකට අවනත විය යුතුයි.

පසුගිය දින කීපයේ කොළඹ යම් යම් තත්ත්වයන් ඇති වුණා. නමුත් යාපනේ මිනිස්සු ඒවාට සම්බන්ධ වුනේ නැහැ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට වගේම ගුරුවරුන්ට සහ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඔවුන් සුපුරුදු පරිදි රාජකාරියට ගොස්, දෛනික රාජකාරි ඉටුකොට සමාජය ඉදිරියට ගෙන යාමට කටයුතු කළා.

අප පත්වීමක් භාර ගන්නා විට වගකීමකට බැදෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට යුතුකමක් තියෙනවා. අපි අපේ අයිතිවාසිකම් ඉල්ලා සිටිය යුතුයි. එය එකක්. නමුත් සාමකාමීව, අපගේ අයිතිවාසිකම් ගැන සාකච්ඡා කිරීමට අපට හැකි යි.

එදා ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ පියා සමඟ මගේ පියා පිලිප් ගුණවර්ධන මැතිතුමා සහ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා ඉතා සමීපව කටයුතු කළා. 1947 සුප්‍රසිද්ධ මහා වැඩ වර්ජනයේ දී මොවුන් සමග රාජ්‍ය සේවය රටේ මහා වැඩවර්ජනයට පෙළගැසුනා. ඔවුන් ව ඉංග්‍රීසින් සිරගත කලා. සිරගෙයින් මිදී විවිධ ප්‍රදේශවලට සහ යාපනයට පැමිණියා. යාපනේ නායකයන්ව ආශ්‍රය කරලා, පස්සේ කාලෙක මැති ඇමැතිවරු වුණා. හිතවතුන්ගේ සහයෝගයෙන් අධ්‍යාපන ක්‍රමය අයිතීන් රැකගෙන ගොඩනැගුවේ කොහොමද කියලා එදා ඉතිහාසයේ ලියැවිලා තියෙනවා."

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් ඇතුළු නිලධාරීන් සහ පත්වීම් ලාභීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූපය - අග්‍රාමාත්‍යවරයා යාපන පුස්තකාලයේ දරුවන් සමඟ පිළිසඳරක, රාජ්‍ය අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපති අංගජන් රාමනාදන් යන අය ඡායාරූපයේ වෙයි.)

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය