අපේ විදේශ විනිමය උපයන ආර්ථිකය ශක්තිමත් කරන්න අපි වැඩපිළිවෙලක් ආරම්භ කළා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

නාවින්න පොදු ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂාගාරයක්...

කොට්ටාව ආදාහනාගාරයට නව අවමංගල්‍ය උත්සව ශාලාවක්...

තලවතුගොඩට බහුවිධ කාර්ය මධ්‍යස්ථානයක්...

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන සහ බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම යටතේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා වෙත වෙන්කිරුණු ප්‍රතිපාදන මගින් මහරගම නගර සභාවට අයත් නාවින්න පොදු ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂාගාරය ඉදිකිරීම්, කොට්ටාව ආදාහනාගාරයේ නව අවමංගල්‍ය උත්සව ශාලාව සහ තලවතුගොඩ බහුවිධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (2024.07.17 ) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

තලවතු ගොඩ නගරයේ නව වෙළෙඳ සංකීර්ණය සහ මාර්ගය ඉදිකිරීම නිසා අවතැන් වූ පිරිස් සහ නගරයේ දියුණුවට ඉවත් වෙන්න සිදුවූ අයටත් අලුත් ව්‍යාපාරික ප්‍රජාවටත් වෙළඳ සංකීර්ණයේ කඩ සාප්පු සහ අවශ්‍ය පහසුකම් ලබාදීලා ව්‍යාපාර කරගෙන යන්න අවස්ථාව සැලසුවා. ඒ අයට කියන්නේ පුරෝගාමින් කියලයි. යමක් අලුතෙන් ඇති කරලා ඵලදායි තත්ත්වයට ගෙන ඒමට උත්සාහ දරණ අය පුරෝගාමීන් ලෙස අභියෝගයන්ට මුහුණ දෙනවා. බොහොම සීමා සහිත වැය ශීර්ෂ වල සිටිමින් සංවර්ධන වැඩ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනුමත කළේ මේ අවුරුද්දේ. ගිය අවුරුදු දෙකේම අපට මුදල් තිබුනේ නැහැ.

පෞද්ගලික අංශයට තමයි ව්‍යාපාරික ප්‍රජාව හැටියට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. මේ අම්මල තාත්තලා කඩේ උදේ පාන්දර ආරම්භ කරලා පාන් ටික විකුණන වෙලාවෙ ඉඳලා රාත්‍රියට රූපවාහිනිය නිවුස් යනකම් කඩේ දොර ඇරලා විදුලි ලාම්පු දාගෙන වෙළඳාම් කරනවා. එයට අපි ගරු කළ යුතුයි. ආණ්ඩුවේ කඩයක් නම් ඕවර් ටයිම් දෙන්න ඕනේ. ඒක සමහර වෙලාවට පඩියටත් වඩා වැඩියි.

නව බහුවිධ සංකීර්ණයත් සමග තලවතු ගොඩ නගරය පැය විසි හතරම අවදිව සිටින නගරයක් බවට පත්වෙන්න ඉඩ කඩ තිබෙනවා. මෙවැනි ගෘහස්ථ කේන්ද්‍රස්ථාන ඉදි වූ බොහෝ නගර පැය 24ම අවධි වන නගර බවට පත්වෙලා තිබෙනවා. නගරයකට ගෘහස්ථ ක්‍රීඩාංගනයක් අවශ්‍යයි. පුංචි දරුවන්ට ළමා චිත්‍රපටියක් වුණත් පෙන්නන්න පුළුවන් තැනක් ඕනේ. මව්වරුන්ට විවිධ ස්වයං රැකියා පන්තියක් තියන්න පුළුවන්. ඒ මතයි අපේ රටේ අනාගතය දියුණුවට පරිවර්තනය වෙන්න පුළුවන් වෙන්නේ.

ප්‍රදේශවාසීන්ගේ අඛණ්ඩ ඉල්ලීමක් වුණේ නාවින්න ක්‍රීඩා පිට්ටනිය නගර සභාවට පවරාගෙන මහරගමට ක්‍රීඩා පිටනයක් ඇති කිරීමේ ක්‍රියාමාර්ගය සාර්ථක කරගන්නා ලෙසයි. අපි ඒ පියවර ගත්තා. අවුරුදු ගණනාවකට පෙර සිට එය පවත්වාගෙන යාම හා දියුණු කිරීම සැලසුමක් ඇතිව සිදු කළා. මන්ත්‍රීවරුන් හැටියට මට සහ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීතුමාට ලැබෙන මුදලින් මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට නගර සභාව සමග එක්ව පිරිවැය ලබාදී අද ආරම්භ කළා. නිම කිරීමේ කටයුතු නගර සභාවේ වගකීම බවට පත්වෙනවා.

විදුහල්පතිවරු , අපේ දරුවෝ බලාගෙන ඉන්නේ ඔබ නිම කරන ව්‍යාපෘතියෙන් පස්සේ ඔවුනගේ දක්ෂතා ඔප්නංවන්න. මහරගම විද්‍යාකර, ජනාධිපති, බුවනෙකබා සහ මධ්‍ය විද්‍යාලයේ දරුවෝ මේ අවස්ථාවට එකතු වීම ආඩම්බරයක්. ඔබ හැම වෙනුවෙන් මෙය ඉදිවෙන්නේ. මේ ව්‍යාපෘති ජාත්‍යන්තර මට්ටමට ගෙන එන්න අපේ සහයෝගය ආඛණ්ඩව ලබා දෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ප්‍රාදේශීය ලේකම්,මහරගම නාගරික ලේකම්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය