ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් පණිවුඩය

හෙළ සමාජයේ කාන්තාවට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. දැයේ අභිමානය වූ ඇය රාජ්‍යත්වය තුළද, ශාසනය තුළද, දේශපාලනය තුළ ද පෙරමුණ ගෙන කටයුතු කළාය. අර්බුදකාරී තත්ත්වයන් හමුවේ නොසැලී කටයුතු කරන කාන්තාව පවුලේ, සමාජයේ මෙන්ම රටේත් ශක්තියයි.

සමස්ත ජනගහනයෙන් සියයට පනස් දෙකක ප්‍රතිශතයක් වූ කාන්තාව, රටේ සංවර්ධනයෙහිලා විශාල කැපවීමකින් කටයුතු කරයි. දියණියක්, බිරිඳක්, මවක්, මිත්තණියක් මෙන්ම පුරවැසියෙක්, සමාජ සේවිකාවක් ලෙස සිය භූමිකාව නිරූපණය කරන ඇය පාසලේදිත්, නිවසේදීත්, රැකියා ස්ථානයේදිත්, මහමඟදීත් මුහුණ දෙන ගැටළු සම්බන්ධව මෙවැනි අවස්ථාවකදී අප වඩවඩාත් අවධානය යොමු කළ යුතුයි. සමාජයේත්, පවුලේත් උන්නතිය වෙනුවෙන් සිය දිවි දෙවැනි කොට කටයුතු කරන ඇගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමස්ත සමාජයේම වගකීමකි.

රටේ සංවර්ධනයට සුවිශේෂි දායකත්වය දැක්වුවද, තවමත් මෙරට කාන්තාවන්ගෙන් බහුතරයක් බැංකු ක්‍රමය සමඟ එක් නොවීම කණගාටුදායක තත්ත්වයකි. මේ නිසා රාජ්‍ය හා වාණිජ බැංකු නිර්මාණශීලී වෙමින්, කාන්තාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් බැංකු ක්‍රමය හා එක්වීමට ඇති බාධා ඉවත් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ.

ආර්ථික, සමාජීය, දේශපාලන වශයෙන් ශක්තිමත් කාන්තාවක් වෙනුවෙන් අවැසි සවිබල ගැන්වීම සදහා වූ නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කාන්තා කටයුතු පිළිබද අමාත්‍යංශය විසින් සිදුකරමින් තිබේ. වත්මන් සමාජ අසීරුතාවයන් යටතේ වුවද කාන්තාවන්ගේ පෝෂණය සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් හා ඔවුන්ට නව රැකියා අවස්ථා උදාකර දීම සඳහා වූ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. ඇය සතු දැනුම හා කුසලතාවයන් මෙන්ම ඇගේ අවශ්‍යතාවයන් මනාව වටහා ගනිමින් නව ලෝකයට ගැලපෙන ශක්තිමත් හා ඵලදායි කාන්තා පරපුරක් බිහි කිරීම අපේ ඒකායන අරමුණයි.

ඇය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය තවත් එක් සැමරුම් දිනයක් නොවී මතු පූර්වාදර්ශයන් වන සේ අර්ථාන්විතව සැමරිය යුතුය. එය දිනකට ලඝුකොට තැබිය නොහැක. ඇය මිහිමත වන තවත් උදානයකි.


දිනේෂ් ගුණවර්ධන(පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 මාර්තු 08 දින