පෞද්ගලික අංශය තුළ ක්‍රියාත්මක වූ සාමුහික උත්සාහයන් තුළින් ඵලදායීතාවය වැඩි කිරීමේ සංකල්පය රාජ්‍ය අංශයට හදුන්වා දෙනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2024.03.14) කැළණිය - මහර ඉදිකළ ’නිලපියස’ නිවාස සංකිර්ණය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

රාජ්‍යයක නිසි පැවැත්ම සඳහා කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවාවක් තහවුරු කළ යුතුයි. රාජ්‍ය සේවාවට සුදුසුකම් වලින් පරිපූර්ණ නිලධාරීන් බඳවා ගැනීම මෙන්ම ඔවුන්ව නිසි ලෙස පුහුණු කර ආයතන ගත කිරීම වගේම දිගින් දිගටම අභිප්‍රේරණය වූ සේවාවක් ලබා ගැනීමට ඔවුන්ගේ වැටුප් හා දීමනා පමණක් නොව පහසුකම් ලබාදීම ද ඉතාම වැදගත්.

රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් ලබා දීමේ මෙම වැඩසටහන මුල් කාලයේ ඈත පළාත්වලයි ක්‍රියාත්මක වුණේ. සීමා සහිත නාගරික ප්‍රදේශවල පුද්ගලික දේපළ ඉඩම් පවරාගෙන නිල නිවාස සංකීර්ණ ඉදිකිරීමේදී විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් රාජ්‍ය ඉඩම් ප්‍රයෝජනයට ගැනීමයි අපේ අදහස. අපි වෙනදට වඩා වැඩි සේවාවක් ජනතාවට සැලසිය යුතුයි.

විවිධ දිස්ත්‍රික්කවල මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් රාජ්‍ය සේවයේ අවශ්‍ය වන නේවාසික පහසුකම් හැකි තරම් දුරට සපයා ගැනීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ අයගේ සේවාකාලය වඩාත් පහසුවෙන් කරගෙන යාමට, නිවාස තිස් එකක් මෙලෙස අද ඔබ අයිතියට පත්වෙනවා.

රාජ්‍ය පරිපාලනයේ විධායක නිලධාරීන් හා නියෝජිතයින් සමඟ මෑත කාලීනව සිදුකළ සාකච්ඡාවලදී එම නිලධාරින් ඉදිරිපත් කරන ලද ප්‍රායෝගික විවිධ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. විධායක නිලධාරීන් සහ පාලන තන්ත්‍රය අන්‍යෝන්‍ය අවබෝධකින් හා වගකීමකින් පසුගිය කාල පරිච්ඡේදයේ ආර්ථික අපහසුතා වලට මුහුණ දුන්නා. ජනතාවගේ සෞඛ්‍ය නිරෝගී භාවය රැකගන්න පුළුවන් වුනේ ඒ හරහායි. එවැනි හදිසි අවස්ථාවන් හරහා ඇති වූ ආර්ථික කඩාවැටීම් තුළින් යළිත් හිස ඔසවන මේ අවස්ථාවේ ආර්ථික ප්‍රගතියකට පැමිණ තිබෙනවා. ඒ විශ්වාසය ඇති වුණේ රාජ්‍ය සේවයේ සියලු දෙනාගේ සහයෝගය තුළින්.

සාමුහික උත්සාහයන් දැරීම තුළින් ඵලදායීතාවය වැඩි කිරීමේ සංකල්පය මෙතෙක් ක්‍රියාත්මක වුණේ පෞද්ගලික අංශය තුළයි. මෙම සංකල්පය රාජ්‍ය අංශයට ගෙන ඒම සඳහා ලෝක කම්කරු සංවිධානය සමඟ අලුත් උත්සාහයකට අවතීරණ වෙන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. ඒ නිසා රාජ්‍ය සේවය තුළ, රාජ්‍ය සේවයේ විවිධ දෙපාර්තමේන්තු තුළ ඇති ගැටලු විසඳාගෙන අලුත් අදහස් වලින් යුතුව තම පහසුකම්, අයිතිවාසිකම් දිනගනිමින් සහ තමන් බලාපොරොත්තු වන අනාගත දියුණුවට පිවිසෙන්නට හැකි වෙතැයි කියලා මම විශ්වාස කරනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප් විතාන, යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය