ජාතික සංවිධාන හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්

ජාතික සංවිධාන හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2022.08.10 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි,
වෛද්‍ය ගුණදාස අමරසේකර, වසන්ත බණ්ඩාර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ,මහාචාර්ය ආර් බී හේරත්, ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ , නීතිඥ මදුමාලි අල්විස්, ප්‍රීමාල් ප්‍රනාන්දු , යසස් ධර්මදාස, සේනාරත්න ද සිල්වා ඇතුළු විද්වතුන් රැසක් ජාතික සංවිධාන නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්විය.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා..
" සැබෑ අරගලයන්ට පණ පෙව්වේ එදා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාලා හා අපි. අද තියෙන්නෙ විජාතික උවමනාවන්ට අවශ්‍යතා සපුරන හා මුදලට විකිණෙන අරගල. ඒවට අරගල කියන්න බෑ. රට අස්ථාවර කිරීමට, ආර්ථික සමාජයීය ආගමික හා සංස්කෘතික වශයෙන් කැස කවන ප්‍රතිගාමීන් වේගයෙන් විවිධ ආකාරයෙන් කටයුතු කරනවා. එවැනි අවස්ථාවක මෙම භාරදූර තනතුර බාර ගනිමින් රට වෙනුවෙන් කැපවීම පිළිබදව සියලු ජාතික සංවිධාන වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම රට ජාතිය වෙනුවෙන් දශක හතරක් තිස්සේ කළ මෙහෙවරේ පන්නරය මත රට නිවැරදි දිශානතියට හැරවීමට ඔබට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා.. එමෙන්ම ජනාධිපතිවරයාත් ඔබත් අතර ඇති සුසංයෝගය රටේ ඉදිරි පැවැත්මට නොබිඳුණු ශක්තියක් වෙනවා."

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි..
"දේශයේ ජාතික දේහය පාර්ලිමේන්තුව තුලත් පිටත් සිට ආරක්ෂා කරන්නට කැප වුණු ඔබ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම රටට ඉතා වැදගත්. ඉදිරියේ ක්‍රියාත්මක කරන්නට යන සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා අප සංවිධාන විසින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය අධ්‍යයන කොට ඉදිරි මත ගනී කියලා අපි හිතනවා. විශේෂයෙන් මේ රටේ හඬක් නගන ප්‍රගතිශීලී චරිත අවලංගු කිරීමේ මහා මෙහෙයුමක ප්‍රතිගාමි කඳුර නිරත වී සිටිනවා"

අදහස් දැක්වූ කල්‍යානන්ද තිරාණගම මහතා..
"හිතන්න බැරි සමහර රටට අහිතකර පනත් අපි ආපසු හැරෙව්වා. ඔබතුමාත් එදා යෝධ ශක්තියක් ලෙස අපි එක්ක හිටියා. කවුරුත් හිතුවේ නෑ අපි දාපු විදේශ විනිමය පනතට එරෙහි නඩුව දිනයි කියලා. ඒත් එදා අපි එක කළා. අපිට අද ඒ විශ්වාස නැවතත් ඇතිවෙලා තියෙනවා. හරිදේ එක්ක අපි කටයුතු කරමු"

අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා..
"ඔබේ අග්‍රාමාත්‍යධුරය ජාතික සංවිධාන වලට ශක්තියක් සහ එළියක්. මේ යන ගමනේ නරක තත්ත්වයන්ට ගියොත් බේරන්න ඉන්න එකම කෙනා ඔබතුමා. මහජන විශ්වාසය නිවැරදි දිශානතියට යොමු කළොත් අරගල නැති වෙනවා. එය සඳහා වන වැඩ පිලිවෙලතුල නිවැරදි ගමනක් යන්නේ නම් අප දායක වෙනවා"

අදහස් දැක්වූ දැක්වූ ආචාර්ය හේරත් මහතා ...
"ප්‍රතිපත්තියකින් සෘජු රේඛාව තුළ ගමන් කරමින් ජාතික දේහය තුළ ක්‍රියාත්මක වූ එකම නායකයා ඔබ. එම ප්‍රතිපත්ති යථාවත් කරන්නට ලැබී ඇති අවස්ථාව ඉදිරියට ගෙන යන්න හරි පාරක එන වැඩපිළිවෙළකට අපි දායක වෙනවා."

අදහස් දැක්වූ නීතිඥ මදුමාලි අල්විස් මහත්මිය ..
"මේ දූෂිත සමානුපාතික මැතිවරණ ක්‍රමය ඉවත් කරන්න. ඔබතුමා කොහොමත් ඒ මතය සහ ක්‍රියාදාමය ඉන්නවා. මේ තනතුර එය නසන්න කඩුවක් කරගන්න. ජනතාවට වගකියන මැතිවරණ ක්‍රමයකට යායුතු බව ඔබතුමා මෙන් රටේම විශ්වාසයයි. රටට ගැලපෙන බදු ප්‍රතිපත්තියක් හදන්න. ඉතා ඉක්මනින් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරන්න"

ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, යසස් ධර්මදාස, ප්‍රීමාල් ප්‍රනාන්දු යන අය ද මේ අවස්ථාවේ අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට සහභාගි වූ සංවිධාන අතර
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ජාතික විද්වත් භික්ෂු සංසදය, පනස් හයේ දරුවෝ සංවිධානය, ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය, වෘත්තීය ඉංජිනේරුවන්ගේ සංසදය, විජයග්‍රාහි ජාතික සංවිධානය, බොදු කිතුනු සහෝදරත්වය, දේශප්‍රේමය විද්වත් සංසදය, දේශප්‍රේමී ජාතික පෙරමුණ විය.