ඉරාන ජනාධිපතිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් අගමැති සොව පළ කරයි

අතිගරු මොහොමඩ් මොක්බර්
ඉරාන ඉස්ලාමීය ජනරජයේ උප-ජනාධිපති
අතිගරු මැතිඳුනි,

අතිගරු ජනාධිපති ඊබ්රහිම් රයිසි (Ebrahim Raisi) සහ විදේශ අමාත්‍ය හොසේන් අමිර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-abdollahian) ඛේදජනක හෙලිකොප්ටර් අනතුරකින් අභාවප්‍රාප්ත වීම ගැන දැනගැනීමෙන් මම දැඩි ශෝකයට පත් වීමි.

අභාවප්‍රාප්ත ජනාධිපතිතුමා ඉරාන ජනතාව වෙනුවෙන් මෙන් ම ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ සේවය අති උත්කෘෂ්ඨ වේ. ඇත්ත වශයෙන් ම අතිගරු ඊබ්රහිම් රයිසි ගේ අවසන් විදේශ සංචාරය වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණියේ ඉරානයේ ආධාර සමඟින් ඉදි වූ ශ්‍රී ලංකාවේ ජනතාවට අතිශයින් ඵලදායී වන උමා ඔය ජල විදුලිය සහ වාරිමාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ය.

ඔහුගේ සංචාරයේදී මම ඔහු සමඟ සමීපව කටයුතු කළ අතර ඉරානයේ සහ එහි ජනතාවගේ සමෘද්ධිය මෙන් ම ගෝලීය සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ඔහුගේ අවංක දැක්ම පිළිබඳ ව මම බෙහෙවින් පැහැදීමට පත් වීමි. ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් මෙන් ම පෞද්ගලික ව මා වෙනුවෙන් ද ඉරාන රජයට, ජනතාවට සහ අභාවප්‍රාප්ත ජනාධිපතිවරයාගේ වියෝවෙන් ශෝකයට පත් වූ පවුලේ ඥාතීන්ට මාගේ හද පිරි ශෝකය ප්‍රකාශ කරමි.

අතිගරු මැතිදුනි, කරුණාකර මගේ ඉහළ ම ගෞරවය පිළිගන්න.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය

2024 මැයි 20 දින