රට පුරා එකම සමුපකාර නිතියක් බලගන්වමු... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

සමුපකාරය ශක්තිමත් කිරීම ආර්ථික අර්බුදයට විසදුමක්...

ග්‍රාමීය නිෂ්පාදන නැංවීමට සමුපකාරයේ මැදිහත් වීම අවශ්‍යයි...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.09.08 දින කොල්ලුපිටිය සමුපකාර මන්දිරයේ පැවැති, නීති නියෝජිත හා ලේකම් පරිචය පිළිබද ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය අමතමිනි.

ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය ක්ෂේත්‍රයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් වෙනුවෙන් හදුන්වා දුන් නීති නියෝජිත පාඨමාලාව හැදෑරූ ඩිප්ලෝමාධාරින්ට සහ ලේකම් පරිචය ඩිප්ලෝමාව හැදෑරූ ඩිප්ලෝමාධාරීන්ට මෙහිදී ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානය කෙරිණි. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමුපකාර කොමිසන් සභාවේ නියාමනයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

සමුපකාර ව්‍යාපාරය ආරම්භ කර වසර සියයක්. විවිධ ගැටළු මැද කාලයෙන් කාලයට ලෝකයත්, අපේ රටේ ආර්ථිකයත් වෙනස් වුණා. ඒ සියල්ල මැද සමුපකාර ව්‍යාපාරය අදත් සුවිසල් කාර්ය භාරයක නිරතව සිටිනවා. සමුපකාර ව්‍යාපාරය කියන්නේ විවිධ සේවා සමුපකාර සමිති, සමුපකාර සමිති සංගම් හරහා ජාතික සමුපකාර මණ්ඩලය හා බැඳි ඒකාබද්ධ වැඩපිළිවෙලක්. මේ සියල්ලට මඟ කියන සමුපකාර නීතියක් අපේ රටේ තිබෙනවා.

නමුත්, එක එක පලාත්වල ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට වෙනස් නීතී. මේ නීති නියෝජිත ඩිප්ලෝමාධාරීන්ගෙන් ඒ පිළිබඳව සුවිශේෂ නීතිමය මැදිහත්වීමක් බලාපොරොත්තු වෙනවා. එකම සමුපකාර නීතියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබදව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

සමුපකාර ව්‍යාපාරයේ පැවැත්ම හා අනාගතය අභියෝගාත්මක වුවත්, සමුපකාරය ආර්ථික දියුණුවේ හවුල්කාරීත්වය සමග එක්කර ගැනීම අවශ්‍යයි. අද මේ සහතිකපත්‍ර ලාභීන් ලබා තිබෙන සුවිශේෂ දැනුම හා අත්දැකීම් සම්භාරය ඒ අභියෝගයට මුහුණ දෙන්න අවශ්‍යයි. ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමේදී වෙළඳපොළ ආර්ථික තරඟයට මුහුණ දෙන්න වෙනවා. සමුපකාර ව්‍යාපාරය මේ වෙනසට දායක විය යුතුයි.

අපි වත්මන් ආර්ථික අර්බුදයෙන් කෙමෙන් ගොඩ එමින් සිටිනවා. මේ අවස්ථාවේ ග්‍රාමීය නිෂ්පාදන ප්‍රධාන කරගත් ආදායම් මාර්ගවලට ගමේ ජනතාව යොමු වෙමින් තිබෙන හෙයින් ඒ සදහා දායකත්වය දක්වන්න සමුපකාර ව්‍යාපාරයට සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙනවා. ඊට ශක්තිය දෙන්න රජයක් හා අමාත්‍යංශය විදියට අපි කටයුතු කළ යුතුයි. සියලු පළාත් සභා එකලෙස කටයුතු නොකිරීම නිසා සමුපකාරය විශාල අර්බුදයකට මුහුණ දි තිබෙනවා.

මහජන බැංකුව ඇතිකළේ ලංකාවේ කෘෂිකර්ම සැලැස්ම ඉලක්ක කරගෙන. එදා පිලිප් ගුණවර්ධන මහතාගේ දස අවුරුදු කෘෂිකර්ම සැලැස්ම මගින් සෑම ගමක්ම අහරින් ස්වයංපෝෂිත කර, ණය ගැතිභාවය තුරන් කිරීමටත්, අධික පොලියෙන් ගොවීන්, නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීමටත් අවශ්‍ය පියවර ගනු ලැබුවා.

මේ නිසා මුල් පනතින් සමුපකාර සංවර්ධන බැංකු, මහජන බැංකුවට අනුබද්ධ කළා. බැංකුවක් වැරදි විදිහට පාලනය කළොත් එහි බරපතළකම ආර්ථිකයටත්, දේශපාලනයටත්, කළමනාකාරයටත් තදින් බලපානවා. ඒ බව සඳහන් කරලයි එදා ටී.බී ඉලංගරත්න මහතා පනත ඉදිරිපත් කලේ. මේ නිසා ආණ්ඩුව දෙදරුම් කෑවා. සමුපකාර කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් දියයුතු බව අදත් මහජන බැංකුවේ අරමුණු හා පරමාර්ථ වල ගැබ්වී තිබෙනවා.

පැහැදිලි නොවන නීති රීති, චක්‍රලේඛන යළි සකස් කරගැනීමට අප යොමු විය යුතුයි. ඒ වෙනුවෙන් මේ ඩිප්ලෝමාධාරීන් ජාතික සමුපකාර මණ්ඩලය සමඟ සංවාදයකට එක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නවීන තොරතුරු තාක්ෂණය අතින් සමුපකාර ව්‍යාපාරය සෑහෙන්න පසුගාමීයි. ඒ පිළිබද අවධානය යොමු කොට සමුපකාරය තාක්ෂණයෙන් දියුණුවකට පරිවර්තනය කර ගැනීමට පියවර ගන්න. සමුපකාර ව්‍යාපාරය ආර්ථිකයට වැදගත් කාර්යයක් ඉටු කරන ක්ෂේත්‍රයක් බවට පත්කළ යුතුයි.

නිතියට අනුව සමුපකාර සේවක කොමිෂන් සභාව නීති හදලා, නඩු අහලා නඩුව ඉවර කරන්නට ඕනේ. නමුත් දැන් අපේ සේවකයෝ කම්කරු උසාවියට යනවා. නීතිමය දෘෂ්ටියෙන් බැලීමත්, සමුපකාර අරමුණු දෘෂ්ටියෙන් ගමන් කිරීමත් කියන්නේ දෙකක්. ඒ නිසා නීතිය පිළිබඳ හදාරන ඔබ, නීති පොතේ තිබෙන දේ පමණක් නොව සමුපකාරය සම්බන්ධව තිබෙන අත්දැකීම් සම්භාරය, පරමාර්ථ හා දර්ශනය ගැන වගේම අලුතින් එකතු කළ යුතු දේ පිළිබඳවත් අධ්‍යයනය කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නොකලොත් ඔබ සියලු දෙනා යොමු වෙන්නේ සමාගම් පනතට. සමාගම පනත කියන්නේ වෙනත් දෙයක්. එය සරලයි. සමුපකාරය කියන්නේ ඊට වඩා සුවිශේෂී දෙයක්.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, එස්. වියලේන්ද්‍රන්, සමූපකාර සභාපති සරත් වීරසිරි සමූපකාර ප්‍රධානීන්,සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය