කිසිම පළාත් පාලන ආයතනයක් කඩාවැටීමකට ඉඩ තියන්නෙ නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2024.07.11 දින අනුරාධපුර නගර ශාලාවේ පැවති උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන සේවකයින් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය වරයා -

සේවාවක ස්ථිරත්වය ලැබෙන්නේ බොහෝ කාලයකට පසුවයි. ඇතැම් තැන්වල ලැබෙන්නෙම නැහැ. අපි ඒ දෙකටම මුහුණ දුන්නු අය. මේ ක්‍රියාදාමයේ පළාත් සභා පළාත් පාලන ආයතන නායකයින් ඉන්නවා. මේ දරුවන්ට ස්ථිරත්වය ලැබීම ජීවිතයේ විශාල සතුටක් හා ස්ථාවර බවක්. එය ඔබේ විශ්‍රාමය දක්වා ඔබට භුක්ති විඳින්නට පුළුවන්. ඉන්පසුවත් පවුලේ අයට සාමාන්‍යයෙන් අද පවතින සේම ඒ රීති බලපවත්වනවා. මේ ජීවිතයේ මහා වෙනස ඇති කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුවිශේෂ මැදිහත්වීමක් කරන්න සිදුවුණු බව කියන්නට ඕනේ.

දේශපාලන යාන්ත්‍රණයම අස්ථාවර වුණ වෙලාවක රට භාරගත්තේ. විශාල න්‍යායික මතවාදයන් ප්‍රකාශ කරන අය කියපු විදිහට ඒ න්‍යාය පත්‍රයම අනුගමනය කරයි කියලා හිතුවට න්‍යාය පත්‍රයක් වුණේ නැහැ. අන්න එතනයි වෙනස වුණේ. අපට දුක්විඳින්න සිදුවුණා. නමුත් න්‍යාය පත්‍රයේ යම් යම් වෙනස්කම් සිද්ධ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න එපා කිව්වා. හැබැයි එහෙම කලේ නැහැ. ලෝක බැංකුව ඇතුළු අපේ මිත්‍ර ආධාර දෙන රටවල් සියලු දෙනා සමග යළි බද්ධ වෙන්න පුලුවන් වුණා. අපි බාරගන්නකොට ඒ බද්ධවීම තිබුණේ නැහැ. අමතක කරන්න එපා. මේ අනුරාධපුරේ ඉන්න ව්‍යාපාරිකයෝ කී දෙනෙක් එල්.සී. අරින්න බැරුව හිටියද. ජාත්‍යන්තර බැංකු අපිව පිළිගත්තේ නැහැ. න්‍යායිකව අපිට තර්ක කරන්න පුළුවන්. නමුත් අපි ණයගත්ත ජාත්‍යන්තර බැංකුව අපිට උත්තර දෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ?

දැන් අපේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර බැංකු පිළිගත්තා. ගනුදෙනු කරන්න පුළුවන්කම ගත්තා. රජයට විතරක් නෙවෙයි පෞද්ගලික අංශයටත් ඒ ආකාරයෙන්ම ගනුදෙනු කරන්න හැකියාව ලැබුණා. අපේ මිත්‍ර රටවල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වූ විදිහට අපි විශ්වාසය තිබ්බා. ලෝකයේ හැම රටක්ම මේ තත්ත්වයට මුහුණ දුන්නා. අපි විතරක් නෙවෙයි. රටවල් රාශියක් මේ තත්ත්වයට මුහුණ දීලා ඔලුව උස්සලා තියෙනවා. හැබැයි හුඟක් කාලයක් ගත වුණා. න්‍යාය පත්‍රිකව මෙහෙම තමයි ඊළඟ පියවර කියලා කියපු අය බලාපොරොත්තු තියාගෙන හිටියා අපි තවත් අමාරුවේ වැටෙයි කියලා. පොතෙන් වෙනස් වෙලා, යම් යම් තැන්වල සාකච්ඡා මාර්ගයෙන් තර්කානුකූලව නිර්මාණශීලී ගමන් මාර්ග ගණනාවක් අනුගමනය කරලා කිසිම රාජ්‍ය සේවකයෙක් අස් කරන්නේ නැතුව විශ්‍රාමය කපන්නේ නැතුව රටේ මුද මුදල් කළමනාකාරීත්වය හා ජාත්‍යන්තර එකඟතාවයන් සමඟ අපි ඉදිරියට ඇවිල්ල තියෙනවා.

පළාත් සභාවේ බල ප්‍රදේශය තුළ ඇතැම් තැන්වල ආදායමෙන් ගෙවන්න බැරි ප්‍රාදේශීය සභා, පළාත් පාලන ආයතන තියෙනවනම් ඒ කිසිම ආයතනයක් කඩාවැටීමකට ඉඩ තියන්නෙ නැහැ. ඒවාට රජය මූල්‍ය ප්‍රතිපාදනයන් වලින් මැදිහත් වෙනවා. ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා. ඈත එපිට පළාත් පාලන ආයතන වල ආදායම මදි නම් වියදම වැඩි නම් ඒ බර රජය දිගටම ගෙන යාමට සහතික කරනවා. වග කියනවා. ගැඹුරින් ඉදිරිය බලා ජනතාව හා පළාත් පාලනය අතර සම්බන්ධතාවයෙන් වැඩ කිරීමේ ඕනෑකමට පළාත් පාලන ක්ෂේත්‍රයේම සහ පළාත් සභා සමග කටයුතු කරන්න පුළුවන් සැලැස්මක් සැකසිය යුතුයි.

ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් .එම්. චන්ද්‍රසේන, සරත් චන්ද්‍රසිරි මුතු කුමාරණ, වීරසේන ගමගේ, යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, පත්වීම් ලාභීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය