විශ්ව විද්‍යාලය කියන්නේ විද්‍යාලයක් නොවන බව අවබෝධ කොට ගත යුතුයි. - අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඓතිහාසික යුදගනා රජමහා විහාරාධිපති, අස්ගිරි මහා විහාරයේ කර්මාචාර්ය ශාස්ත්‍රපති, පූජ්‍ය ගල්ටැම්වත්තේ ධර්මකීර්ති ශ්‍රී චන්ද්‍රජෝති නන්දරතන නායක ස්වාමීන් වහන්සේට ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය ධුරය පිරිනැමීම නිමිත්තෙන් 2023.03.18 දින යුදගනා රජමහා විහාරයේ පැවැති උත්සවය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරයා

"මේ යුදගනාව පිංබිම වඩ වඩාත් පිංබිමක් බවට පත් කරන්න අපේ නන්දරතන ස්වාමීන් වහන්සේ ඉටුකළ මෙහෙය, නායකත්වය, උත්සාහය හා අනාගත නිර්මාණය යළිත් වරක් මෙහි දී සඳහන් වුණා. රජය වෙනුවෙන් ඔබ වහන්සේට වැද නමස්කාර පූර්වක ගෞරව පිරිනමනවා.

යුදගනාව හා දෙමටමල් විහාරය ලක් ඉතිහාසයේ අමරණීය ස්ථානයන්. සම්බුද්ධ ශාසනයත්, ජාතියත් එක්සේසත් කළ මහා පින් බිමක අඩිය තබන්න එකල රජ දරුවන්ට හැකි වුණා. ඒ සඳහා ආශිර්වාදය ලැබුණා. ඒ නිසාම අපේ ජාතිය, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර චිරස්ථිතිය පිණිස කටයුතු කරන්න රජදරුවන්ට මහ සඟරුවන මග පෙන්නුවා.

ඒ වගේම අපේ නායක හිමියෝ මට නිතර සඳහන් කරන්නේ අපේ මාතෘ භූමියත් සම්බුද්ධ ශාසනයත් විහාරස්ථාන වල දියුණුවත් සම්බන්ධවයි.

මෙතනට පැමිණෙන දහස් ගණන් වන්දනාමාන පින්වතුන්ට ජාතිය යළි සිහිපත් කරන්න හැකිවෙනවා. අපේ රටේ ජනතාව එදා වගේම අදත් ගොවිතැන් කරලා අස්වනු කපල වන්දනාවේ ගමන් කරමින් මේ ප්‍රදේශයට ආවා. ඒවා ආරක්ෂා කර දීමෙන් අවබෝධ කර දීමෙන් ජාතිය තවත් ඉදිරියට ගෙනියන්න අපේ භික්ෂුන් වහන්සේ කරන මගපෙන්වීම දැවැන්ත ශක්තියක්. පොතපත පමණක් නොව ධර්මය අවබෝධ කරදීම සහ පැමිනෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන්ට ඒ කරුණු කියාදෙන්න හැකිවීම නිසා මේ පින් බිමේ පූජනීයත්වය රැකී තිබෙනවා. අද මේ මහා වගකීම පැවරෙන අපේ නන්දරතන හිමියන්ට දීර්ඝ කාලයක් ඊට මඟ පෙන්වීමට ආයු ශක්තිය අපි ප්‍රාර්ථනා කරනවා.

අප ජීවත්වන අවිනිශ්චිත භාවයෙන් පිරි ලෝකයේ බුදුරජාණන් වහන්සේ අපට දෙසූ ධර්මය මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නේ නම් අයහපත දුරුකළ ගත හැකියි. නමුත් අපි ඉන්නේ භෞතික දේ සොයා යන ලෝකය හා අධ්‍යාත්මික ලෝකය අභිබවා යන්නට උත්සාහයක සිටින ලෝකයකයි. මේ නිසාම මධ්‍යම ප්‍රතිපදාව අතහැර කාලීන අවශ්‍යතාවයන් මත අපේ ජන ජිවිතය ගත කිරීමේ ප්‍රතිඵල අප රටට පමණක් නොව ලොව අනෙක් රටවලටත් බලපා තිබෙනවා.

භික්ෂූන් වහන්සේ විද්‍යාල ජීවිතය හා පිරිවෙන් ජීවිතය හමාර කර විශ්ව විද්‍යාලයට යනවා.

විශ්ව විද්‍යාලයක් කියන්නේ විද්‍යාලයක් නොවන බව අවබෝධ කර ගැනීමේ ගැටලුව නිසා අද විශ්ව දැනුමෙන් පිරුණු ඒ මහා පරිසරය විද්‍යාල පරිසරයකට යොමු වෙමින් තිබෙනවා. එය වළක්වා ගැනීමට ඒ උත්තුංග මධ්‍යස්ථාන වඩාත් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා අධ්‍යාත්මික දායාදය එක් කිරීමේ වැදගත්කම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ඇති කිරීම සඳහා වූ ක්‍රියාවලිය ජාතික වශයෙන් එක් මතවාදයක සිට ක්‍රියාත්මක කිරීමේ අධිෂ්ඨානය කැපවීම සැම දෙනා අතර තිබිය යුතුයි.

ඔබ වහන්සේගේ නායකත්වයෙන් මේ පින්බිම තවත් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී අපි ඔබ වහන්සේ සමඟ එක්ව කටයුතු කරනවා."

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමි ප්‍රධාන මහ සඟරුවන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශශීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාරසිරි රත්නායක, ගයාශාන් නවනන්දන, යදාමිනි ගුණවර්ධන, රංජිත් මද්දුම බණ්ඩාර, ඩබ්. ධර්මසේන, කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර ඇතුළු දායකකාරකාදීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.