දරුවන්ට ඉගැන්වීම තමයි වටිනාම දෙය ඊට වඩා වටින දෙයක් නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.03.27 දින ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 51 වන ගුණ සමරු වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත්, හෝමාගම ශ්‍රී සිද්ධාර්ථ කණිෂ්ඨ විද්‍යාලය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන පාසලක් බවට ශ්‍රේණිගත කිරීම සහ නව බහුකාර්ය මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.

සිද්ධාර්ථ කණිෂ්ඨ විද්‍යාලය බොරළුගොඩ රාළහාමි නමින් විරුදාවළි ලත් දොන් ජාකෝලිස් රූපසිංහ ගුණවර්ධන මහතා විසින් 1905 වර්ෂයේදී ආරම්භ කර තිබේ.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

මේ පාසල ආරම්භ කරලා මේ පාසලේ ආරම්භක ශිෂ්‍යයෙක් හැටියට පිලිප් ගුණවර්ධන මැතිතුමා ලංකාවටම සේවය කරන්න පුළුවන් වුණා. මගේ පියා ජාත්‍යන්තරවත් විශාල වැඩ කොටසකට හවුල්වුණ ජාතික නායකයෙක් බවට පත් වුණේ මේ පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කරලා.

මේ අපේ පාසල. මේ පාසල වෙනුවෙන් අපිට ජාතික වශයෙන් ලබාදිය හැකි හැම මගපෙන්වීමකම ලබාදෙන බව කියන්න කැමතියි. අපේ විදුහල්පතිතුමා, ගුරුවරයන්, ගුරුවරියන් ඒ වගේම දෙමව්පියන් එකතුවිය යුතුයි. දරුවන්ට ඉගැන්වීම තමයි වටිනාම දෙය ඊට වඩා වටින දෙයක් නැහැ. මේ බොරළුගොඩ අපේ සීයා ඇතුළු මුතුන්මිත්තන්ට විශාල ඉඩම් තිබුණු බව ඇත්ත. නමුත් දරුවන්ට ඉගැන්නුවා. ජාත්‍යන්තරව ඉගැන්නුවා. රටට වැඩ කරන්න පුළුවන් වෙන්න දරුවන්ට යහ මග පෙන්නුවා.

අපේ පළාතෙන් එවැනි පුද්ගලයින් රාශියක් බිහිවීම ගැන අපි ආඩම්බර වෙනවා.

ලංකාවේ ව්‍යාපාරික පැළැන්තියේ ඉදිරියෙන්ම ඉන්න ව්‍යාපාරිකයෝ අපේ ගමේ, අල්ලපු ගමේ බිහිවෙලා රටට සේවය කරනවා. ඒ නිසා දරුවන්ට ඉගැන්වීම ගැන දෙමව්පියන් උනන්දු වී කටයුතු කරන්න කියලා යළිත් වරක් ඔබ සැමගෙන් ම ඉල්ලනවා. ඒ කටයුත්ත එසේම ඉගෙන ගන්න පරම්පරාවට දායාද කිරීමට බොරළුගොඩ සිද්ධාර්ථ කණිෂ්ඨ විද්‍යාලයේ සිට අපි අධිෂ්ඨාන කර ගනිමු.

පන්ති කාමරයේ වගේම පන්ති කාමරයෙන් බාහිරව තියෙන සම්පත් එලෙස ප්‍රයෝජනයට ගෙන අපේ දරුවන් පාසලෙන් පිටවී යන විට පාසලට තියන බැඳියාවක් අධ්‍යාපනය අනාගත දියුණුවටත් පිවිසෙන්නට පුළුවන් කමට කටයුතු කරයි කියලා විශ්වාස කරනවා.

අපේ පළාතේ ලොකුම වතුයායෙන් එකක් තමයි සාලාව වතුයාය. සාලාව වතු යායේ අවුරුදු සියයකට වැඩිය සේවය කරන පරම්පරාවල දරුවන්ට මේ පාසලේ ඉගෙන ගන්න අවස්ථාව ලබාදීම ඉතාම වැදගත්.

යදාමිණී ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා බොහොම උනන්දුවෙන් පාසලේ විවිධ කටයුතුවලට දක්වන සහය වගේම පරිගණක ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණය දියුණු කිරීමට පාසලේ ඉල්ලීම් සමග කටයුතු කරන්න සාකච්ඡා කර තිබීමේ ප්‍රතිඵලයන් පාසලේ දියුණුවට ඉක්මනින් ලබාදෙන්නට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා.

අද අපිට ආඩම්බර දවසක්. පිලිප් ගුණවර්ධන මැතිතුමාට මේ ගමේන් බිහිවෙලා අපේ රටේ ජාතික වීරවරයෙක් හැටියට කටයුතු කරන්නට පුළුවන්කම ලැබුණා. අපේ නිදහස්ව පිණිස ගමන් කරන්නට පුළුවන්කම ලැබුණා. නිදහස දිනා ගැනීමේ සටනට තමන්ගෙන් ඉෂ්ට විය යුතු වැඩ කොටස ඉටු කළා.

පිලිප් ගුණවර්ධන මහතා රටේ පොදු මහජන සේවාවේ ක්‍රියාමාර්ග වලටත් අවතීරණය වීමේ ගෞරවය ඇතිව ගමන් කරන්නට පුළුවන්කම ඇති කරපු පලවෙනි පාසල හැටියට අපේ දරුවන්ට අවශ්‍ය පාසල් බස් රථයක්ද ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මේ අහිංසක ළමයි, දෙමව්පියෝ, ත්‍රීරෝද රථයකට ගෙවලා එන්න සිද්ධවෙනවා. ඈතින් එන දරුවන්ට එන්න තියෙන අමාරුකම අද වැඩියි. අපි ඒක විසඳා දීමට පුළුවන් වුණොත් පාසැල් පහක් පමණ ආවරණය වන දරුවන්ට පාසල් බස් රථයේ ගමන් කරන්න හැකියාව ලැබෙනවා. අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මේ කරන්නේ ඉල්ලීමක් විතරයි. නිතර දෙවේලේ ගම්වාසීන් ගමට ආවහම කතාබස් කරන දෙයක්.

අධ්‍යාපනය වැදගත්කමට බස්නාහිර පළාත් සභාව මේ කරන දායාදය හොඳින් ප්‍රයෝජනයට ගන්න සියලුම දරුවන් හා දෙමාපියන් පාසල සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාමාධිපති සෙවෙල්වල ඤාණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ හිටපු පුරපති ප්‍රසන්න ගුණවර්ධන සහ ආදි ශිෂ්‍යයින් මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය.