උතුරු පළාත් ගොවි ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණය පුළුල් කරන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්...

උතුරු පළාත් ගොවි ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණය පුළුල් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් ග්‍රාම නිළධාරී වසම් සවිබල ගැන්වීම හා ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන පිළිබඳ ‍පසුවිපරමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2022/10/13 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබීය.
අස්වැන්න බෙදාහැරීම ක්‍රමවත් වූ විට සැමටම එහි ප්‍රතිලාභ ලැබේ.ඇතැම් නිෂ්පාදන වල අතිරික්තයක් පවතී නම් බෝග විවිධාංගීකරණයට යොමු වීමෙන් ඊට විසදුම් ලබාගත හැක.
උතුරු පළාතේ ගොවි ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී වරඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාග රාජා මහතා සඳහන් කලේ උතුර, උතුරුමැද ,නැගෙනහිර හා වයඹ පළාත් දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධ කරගනිමින් එක් ඒකකයක් ලෙස ආහාර නිෂ්පාදන ප්‍රදේශ බවට පත් කළ යුතු බවයි.
රටේ ආහාර නිෂ්පාදනයට වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක වලින් දැනටමත් වැඩි දායකත්වයක් ලැබෙන බවත් පළාත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් එක්ව සාකච්ඡා කොට ව්‍යාපෘති ඇරඹීම කාලෝචිත බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
උතුරු පළාතේ ධීවර කර්මාන්තයට බලපා ඇති ඉන්ධන ගැටලුව පිළිබඳවද අවධානයට යොමු විය.
මෙම අවස්ථාවට පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර,ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත,අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ යන මහත්තුරු ද එක්ව සිටියහ.