රජය සෑම විටම ජල කළමනාකරණයට මුල් තැන දී ක්‍රියා කරනවා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

වර්තමානය වනවිට ශ්‍රී ලංකාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය ඇතුළු අභියෝග රැසකට මුහුණදෙමින් සිටිනවා. ජල පරිහරණයේදී ප්‍රමුඛතා හඳුනාගත යුතු අතර රටෙහි ජල කළමනාකරණය හා සම්බන්ධ සියලු ආයතන සමඟ අප රජය සුහදව කටයුතු කරනවා.

2022.11. 28 දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට බත්තරමුල්ල කාර්යාලයේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -
වරක් ප්‍රයෝජනයට ගත් ජලය නැවත නැවත ප්‍රයෝජනයට ගැනීමේ ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. රටේ විවිධ අවස්ථාවලදී ගොවි ජනතාව ගංවතුර තත්ත්වයන්ට මුහුණ දෙනවා. මෙවැනි දේශගුණික විපර්යාසවලදී අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනය විසින් ජනතාව වෙනුවෙන් කරන මෙහෙය අති විශාලයි. අනාගතයේදී ජල සම්පත සම්බන්ධයෙන් බොහෝ ගැටළු ඇති විය හැකි අතර ඊට මුහුණදීම සඳහා ජල කළමනාකරණය අත්‍යවශ්‍ය වේ.

අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කරන වාරිමාර්ග හා ඵලදායිතාව, භූගත ජල කළමනාකරණය, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමේ හැකියාව වැඩිදියුණු කිරිම, අපද්‍රව්‍ය කළමනාකරණය හා තෙත්බිම් සංරක්‍ෂණය ඇතුළු ව්‍යාපෘති පිළිබඳව සතුට පළකරනවා. රටේ සමාජීය සහ ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් අප සතු ජල මූලාශ්‍ර වැඩිදියුණු කිරිම සඳහා මෙම ආයතනයේ සක්‍රීය දායකත්වය අපේක්‍ෂාකරනවා.

අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාක් ස්මිත්, ආචාර්ය පී රාමනුජම්, ආචාර්ය රේචල් මැක්ඩොනල්ඩ් සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.