ක්‍රිකට් වලින් මිත්‍රත්වය, විනය, සහෝදරත්වය තහවුරු කරන සුවිශේෂ අවස්ථාවක් අපේ බාල පරම්පරාවට දායාද කරනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනඟන, උසස් සහෝදරත්වයේ ගුණධර්මයන් හා අරමුණු වෙනුවෙන් කැපවිය යුතුයි...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.07.27) කළුතර, දොඩංගොඩ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ක්‍රිකට් ක්ෂේත්‍රය පිළිබඳව ඉතා ඕනෑකමින් කටයුතු කරන්න පුළුවන් වෙලා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයේ වැඩපිළිවෙළකට ගමන් කරවීමේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න ක්‍රිකට් සංගමයට ජාතික වශයෙන් පුළුවන්කම ලැබී තිබෙනවා. ඒ පිළිබඳ සුවිශේෂ අවස්ථාවක් අද කළුතර දිස්ත්‍රික්කයට ලැබෙනවා.

දොඩංගොඩ බොහොම වේගයෙන් දියුණුවට ප්‍රදේශයක්. ක්‍රීඩාංගනයේ වැඩකටයුතු අවසන් කිරීමට රාජ්‍ය නිලධාරීන් දෙපාර්තමේන්තු ඇතුළු අනෙකුත් සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. ජනාධිපතිතුමා නිරන්තරයෙන් ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. අපි ක්‍රිකට් බලල සතුටු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව වේගය මත තීන්දු වෙන අවස්ථා රාශියක් අපි දකිනවා. ඒ වගේ වේගයකින් රාජ්‍ය අමාත්‍යාංශ වල හා අනෙකුත් අදාල සංස්ථාවල සහයෝගය ලබා දෙන්න.

ලංකාවේ පාසල් දහදාහක් තියෙනවා. ප්‍රාථමික කුඩා පාසල් 3000ක් විතර තියෙනවා. බොහෝ පාසල් ඈත ප්‍රදේශවල. පාසල් තුන් හාරදහසකට රජය සුවිශේෂ මැදිහත්වීමක් කරනවා.

නගරයෙන් පමණක් නොව ග්‍රාමීය වශයෙන් බිහිවුණු ක්‍රිකට් ක්‍රීඩකයෝ ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් කීර්තිය ලබාගන්න පුළුවන්කම ඔප්පු කළා. දැනුත් ඔප්පු කරමින් සිටිනවා. ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ අපේ ක්‍රීඩකයෝ එසේ දක්ෂතා දැක්වීමෙන් අනතුරුව විදේශ රටවල්වල පවා සුවිශේෂ පුහුණුකරුවන් බවට පත්වීම අපට තිබෙන පිළිගැනීමේ සීමාව කොයිතරම්ද කියලා පෙන්නනවා.

අපේ ගම් නියම්ගම් හරහා අපිට ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුව දක්වන හා පුහුණු කරමින් තවත් ඉදිරියට ගන්නට පුළුවන් දරු පරම්පරාවක් එසේ ආකර්ෂණය කර ගැනීමට පුළුවන්. ක්‍රිකට් සංගමය මේ දිස්ත්‍රික්කයේ ඇති කරන ප්‍රධාන ක්‍රීඩාංගනය ලෙස මෑත කාලයේ මේ අවස්ථාව සුවිශේෂ වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව බොහොම අභියෝග මැදයි අපේ ගම්බද දරුවෝ එන්නේ. ගම්බද දරුවන්ගේ සහභාගිත්වය පිළිබඳව මෙතන කතා වුණා. එය වර්ධනය වීමක් මිස ආපසු හැරීමක් නැහැ. ක්‍රිකට් සංගමය හා රජය ඒ පිළිබඳ දක්වා තිබෙන ආශිර්වාදය හා උනන්දුවයි.

ක්‍රිකට් කියන්නේ දකින ක්‍රීඩාව පමණක් නෙවෙයි. ක්‍රිකට් වලින් මිත්‍රත්වය, විනය, සහෝදරත්වය තහවුරු කරන සුවිශේෂ අවස්ථාවක් අපේ බාල පරම්පරාවට දායාද කරනවා. ඒ නිසාම අපි කවුරුත් ප්‍රාර්ථනය කරන්නේ සැම දරුවෙක්ටම ඒ පිළිබඳ අවබෝධය හෝ සහභාගී වන්නට පුළුවන් හෝ ඒ දැක බලාගන්න සතුටු විය හැකි පරම්පරාවක් බිහි කිරීමටයි.

කාන්තා ක්‍රිකට් එලෙසම වර්ධනය වෙනවා. කොයිතරම් ආඩම්බරයක්ද.ඊයේ දිනයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ වගේම විශාල ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනඟන කණ්ඩායමක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් අප සැමට දායාද කළ හැකි උසස් සහෝදරත්වයේ ගුණධර්මයන් හා අරමුණු සඳහා කටයුතු කිරීමවෙනුවෙන් කැප වෙන්න.

පස්දුන් කෝරළේ ප්‍රධාන සංඝනායක දොඩංගොඩ උදිත හිමි ප්‍රධාන මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, සංජීව එදිරිමාන්න, ලලිත් වර්ණකුමාර, ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, කළුතර දිස්ත්‍රික් හා යාබද කලාපවල ක්‍රිකට් සංගම් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය