හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්....

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවයඅද (15) වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙම ජාතික උත්සවය සංවිධානය කළ අතර පෙරවරු 10.17ට යෙදුණු සුබ නැකතට වත්තල හැඳල පුරාණ රජමහා විහාරාධිපති හිග්ගොඩ චන්දිම නායක හිමියන් අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතාගේ හිස තෙල් ගෑහ.

අනතුරු රාජ්‍ය උත්සවයට එක්ව සිටි ජනතාවගේ හිස තෙල් ගෑම මහා සංඝරත්නය විසින් සිදු කළහ.

හිස තෙල් ගෑමේ උත්සවයෙන් බලාපොරොත්තු වන ආකාරයට ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන බව එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

හිසතෙල් ගෑමේ උත්සවය සඳහා අවශ්‍ය නානු සහ සිංහල අලුත් අවුරුදු ලිත දේශීය වෛද්‍යවරුන්ට සහ සියලුම විහාරස්ථාන වෙත ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, සෞඛ්‍ය ලේකම් පාලිත මහිපාල ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය