පන්ති කාමරයට ඩිජිටල් අඩිතාලමක් ලෙස අපේ පාසැල් අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතුයි.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ඉදිරි වසර පහ තුළ ඩිජිටල් තාක්ෂණය මුළු රටම වෙළා ගන්නවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.12.04 දින කළුඅග්ගල ශ්‍රී සිද්ධාර්ථ කනිෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

තව අවුරුදු පහක් යන්න පෙර ඩිජිටල් තාක්ෂණය මුළු රටම වෙලාගන්නවා. ඒ කාලය ඇතුළත දි බොහොම වේගයෙන් අධ්‍යාපනය පන්තිකාමරය වෙනස් වෙනවා. ඒ නිසා ඒකට අඩිතාලමක් දැමිය හැකි ලෙස මේ කටයුතු මේ ප්‍රදේශ වල එලෙස සකස් කරගැනිමට සියළුදෙනා සහයවීම ඉතාම වැදගත් පියවරක් හැටියට අපි සලකනවා.

අද වෙනකොට දහදාහක් පමණ ලංකාවේ පාසල්, රාජ්‍ය පාසල් ලෙස පවතිනවා. ගුණාත්මකභාවය වැඩිකරන්න එහි ඇති අර්ථය වඩාත් ශක්තිමත්ව දායාද කරන්න පුළුවන් ගුරු පරපුරක් අඛණ්ඩව බිහිකරගැනීම සඳහා වු නායකත්වය අපේ රටට අවශ්‍යයි. මේ වැඩපිළිවෙළ එවැනි දියුණුවකට පරිවර්තනය කරන්න පුළුවන්කම හරහා ගමන් කරමු.

ගිය වසර අපි ගත කළේ බොහෝම අමාරු තත්ත්වයක් තුළයි. දැන් අපි ආර්ථිකය පණ ගන්වල තියෙනවා. පාසල් එකින් එක වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදිහට පණ ගන්වගෙන යනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව ඔබට අපේ දරුවන්ට තිබෙන ලොකුම හයිය යි. ලොකුම ශක්තිය යි. ලොකුම සම්පත ලෙස දෙමව්පියන් වු අපි කල්පනා කරමු.

යදාමිණී ගුණවර්ධන තරුණ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම උනන්දුවෙන් මේ ග්‍රාමීය පාසල් ගැන විශේෂ උනන්දුවකින් නව දැනුම,තොරතුරු තාක්ෂණය ඇතුළු නව දැනුම පාසල් වලට ලබාදිම සඳහා දරන උත්සහයට සහ එහි ප්‍රතිළුලයක් හැටියට මේ පාසලටත් ඒ දම්වැලට එකතු වෙන්න පුළුවන්කම ලැබුණා. ඉදිරි කාලයේදි අපේ දරුවන් ඒ ප්‍රයෝජනය ලබාගෙන මේ නව අභියෝගයේ ප්‍රධාන සාධකයක් වී තිබෙන තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉදිරියටම ගමන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ශතවර්ෂයකට වැඩි කාලයකට පෙර බොරළුගොඩ රාළහාමි ආරම්භ කළ මෙම විද්‍යාලය අඛණ්ඩව මෙතෙක් පවත්වාගෙන ඒමට පුළුවන් වීම සුවිශේෂයි. දෙමව්පියන්ගේ සහයෝගයත්, ඒ වාගේම ආරම්භකයන්ට සම්බන්ධ සහයෝගය හා නායකත්වයත් දේශපාලන මහජන නියෝජිතයන්ගේ සහයෝගයත් එයට රුකුල්වී තිබෙනවා. පාසලක පටන්ගත් දිනයේ සිට පැමිණ තිබෙන අවුරුදු ගණන සඳහන් කරනවට වඩා මෙතනින් කොපමණ දරුවන් ඉගෙනගෙන පිටවි ගොස් රටට, සමාජයට සේවය කරනවාද කියන දේ පාසලට මහ ආඩම්බරයක්. අපි ඉගෙනගත්තේ බොරලුගොඩ විද්‍යාලයෙන් කියලා පරම්පරා ගණනාවක් එසේ ගමන්කර තිබෙනවා.

අපේ බොරළුගොඩ පන්සලත් පාසලත් එකට බැඳෙමින් සිටියා. ගම්වාසින් සමඟ එහි පල ප්‍රයෝජනය ලබාගන්න පුළුවන් පාසලක් බවට පත්ව තිබුණා. මේ පාසලේ පළමුවෙන්ම බොරළුගොඩ රාලහාමි ලියාපදිංචි කරන්න ගෙනාවේ නීතිඥ හැරි ගුණවර්ධන අපේ ලොකු තාත්තාව. ඒ සමඟම ආවා පිලිප් ගුණවර්ධන මහතා අපේ පියා. දැන් රංජිත් ගුණවර්ධන මැතිතුමා ඉන්නවා. හැරී ගුණවර්ධන මැතිතුමාගේ ආදරණීය පුතා. ඒ වගේම අපි පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ දරුවන් හැටියට මමත් ගීතාංජන මැතිතුමත්, ඒ වගේම මුණුබුරා හැටියට යදාමිණි ගුණවර්ධන මැතිතුමාගෙත් නිරන්තර සහයෝගය අඛණ්ඩව මේ පාසලට ලබාදිමට පුළුවන්කම ඇතිවී තිබෙනවා. පාසලේ දරුවන් බලාපොරොත්තු වන දැනුම ලබාදෙන්න පුළුවන්කම ආචාර්ය මණ්ඩලයට තිබිය යුතුයි. ඒ මත තමයි පාසලක දියුණුව තවත් ශක්තිමත් වෙන්නේ.

බොරළුගොඩ ශ්‍රී වර්ධණාරාමාධිපති පූජ්‍ය හෙවෙල්වල ඤාණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, බස්නාහිර පළාත් සභාවේ ලේකම් ප්‍රදිප් යසරත්න, ගුරු දෙගුරුන් හා ජනතාව මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය