ගලෙන් කොටුව බැන්දයි තිරිකුණාමලේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 38 වන සහ 64 වන ශිෂ්‍යබට බඳවා ගැනීමේ නිලධාරීන්ගේ අධිකාරියට පත්කිරීම සහ විසිරයාමේ පෙළපාලිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024.01.28) ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දියල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා එක්විය.

අග්‍රාමාත්‍යවරයා උත්සව සභාවේදී කළ කතාව...

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 38 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීමේ සහ 64 වැනි ශිෂ්‍යභට ප්‍රවේශය මඟින් ශිෂ්‍යභට නිලධාරිනියන් දෙදෙනකු සමඟින් තරුණ ශිෂ්‍යභට නිලධාරීන් 49 දෙනෙකුගෙන් සමන්විත පෙළපාලියෙහි මෙම අභිමානවත් අවස්ථාවට සහභාගි වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි.

මෙම මනහර සහ විචිත්‍රවත් සන්ධ්‍යාව සඳහා මා හට ආරාධනය කිරීම සම්බන්ධයෙන් සේනාධිනායක ජනාධිපතිතුමාට සහ නාවික හමුදාපතිතුමාට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

හිතවත් තරුණ නිලධාරීන්,
ඔබ උතුම් සේවාවකට ප්‍රවේශ වෙනවා. අපේ මාතෘභූමියේ ආරක්‍ෂාව සහ අපේ සෙසු පුරවැසියන්ගේ ආරක්‍ෂාව අපේ ත්‍රිවිධ හමුදාව මත රඳා පවතී. අද සිට ඔබ මෙම වගකීමට කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් උරදෙන හමුදා සේවයේ සාමාජිකයින් වේ.

ඔබ නාවික හා සාගරික විද්‍යාපීඨයේ අවසන් පුහුණු සැසි සාර්ථකව අවසන් කර ඇති අතර, අභිමානයෙන් හා ගෞරවාන්විතව සේවය කිරීම සඳහා පූර්ණ බලැති නාවික නිලධාරීන් ලෙස ඔබට අද නිල බලය ලැබී ඇත.

අලුතින් පත් කරන ලද මෙම නිලධාරීන් සියලු දෙනාම ඔවුන්ගේ විනය පවත්වා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෘත්තීය සහ තරඟකාරී ආයතනයක් බවට පත් කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියට සහාය වනු ඇතැයි මම අපේක්ෂා කරමි. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ අපේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමයි.

අපගේ මුහුදු සීමාව ආරක්ෂා කිරීම සඳහා නාවික හමුදාවේ කාර්යභාරයට අමතරව ස්වාභාවික විපත්වලදී ඉටු කරන වගකීම් ද ඉතා අගය කොට සලකනු ලැබේ. තවද, මුහුද හරහා සිදුවන හානිකර ආක්‍රමණ වැළැක්වීමේ නව අභියෝග ද නාවික හමුදාව හමුවේ ඇත.

ඔබ කළමනාකරණය සහ තාක්ෂණික විද්‍යාව, කාර්ය සම්පාදන කළමනාකරණය, සහ සමාජ විද්‍යාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ BSc සම්පූර්ණ කර ඇති බව මාගේ විශේෂ අවධානයට යොමු විය . එසේම නවීන තාක්‍ෂණය පිළිබඳ නව්‍ය පර්යේෂණ වල යෙදෙන ලෙස මම නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. ඔබ දිගටම ඔබේ වෘත්තීයභාවය වැඩිදියුණු කර ගැනීම වැදගත් වන අතර ඔබේ උසස් නිලධාරීන්ගේ නායකයින් වීමට අපේක්ෂා කළ යුතුයි.

මෙය අපගේ මාතෘභූමිය සුරැකීම සඳහා උත්තරීතර පරිත්‍යාගයන් කළ උදවිය ඉතා කෘතවේදීව සිහිපත් කළ යුතු අවස්ථාවකි.

වසර ගණනාවක් පුරා නාවික හමුදාවේ අභීත නිලධාරීන් විසින් පූර්ණ කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ප්‍රදර්ශනය කරන ලද මෙහෙවර ආදර්ශයට ගනිමින් නව නිලධාරීන් කණ්ඩායම ජාතියට සේවය කරනු ඇතැයි මට විශ්වාසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කිරීම සඳහා මෙම තරුණ නවක නිළධාරීන්ට අඛණ්ඩ අනුග්‍රහයක් ලබා දීම පිළිබඳව දෙමාපියන්ට සහ ආදරණීයයන්ට මාගේ හද පිරි ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

අප රටේ හමුදා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතන ලෙස නාවික හා සමුද්‍ර විද්‍යාපීඨයේ සහ KDU හි අණදෙන නිලධාරි සහ අධ්‍යක්ෂක කාර්ය මණ්ඩලය විසින් තරුණ පිරිමි සහ කාන්තාවන් සඳහා දැනුම බෙදා දිමට දැරෑ ප්‍රයත්නයන් සඳහා මම මගේ ප්‍රශංසාව පළ කිරීමට කැමැත්තෙමි.

නාවික හමුදාවේ බොහෝ ගෞරවනීය නිලධාරීන්, ජල මතුපිටට වඩා, නූතන යුගය ඉල්ලා සිටින අප අවට සාගරයේ විශාල ජල ගැඹුරේ ජයග්‍රහණ පිළිබඳ සැලකිලිමත් වෙයි.

ත්‍රිකුණාමලය වසර දහස් ගණනක් පුරා දිවෙන ඓතිහාසික වටිනාකමකින් යුත්, බෙංගාල බොක්ක ආශ්‍රිතව උපක්‍රමශීලීව පිහිටා ඇති වැදගත් ස්ථානයකි. මෙය ලෝකයේ විශාලතම ස්වභාවික වරායන්ගෙන් එකක් වන අතර එය ස්වභාවධර්මයේ මාතාවගේ සුවිශේෂී තෑග්ගකි.

1948 නිදහස ලැබුවද ත්‍රිකුණාමලය සහ කටුනායක කඳවුරු දෙකම අපේ ජාතිය සමඟ ප්‍රතිෂ්ඨාපනය වූයේ 1957 දී පමණක් බව සැලකිල්ලට ගත යුතු කරුණකි. එතැන් සිට මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා විවිධ මෙහෙයුම් දියත් කර ජයග්‍රහණ බවට පරිවර්තනය කළ ජාතියේ ප්‍රධාන නාවික ස්ථානයයි.

මෙම ඓතිහාසික වටිනාකම පසුබිම් කරගෙන ඔබ පුහුණු කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න. එබැවින් ඔබේ අනාගතය කඩිසරව හා ගෞරවාන්විතව රාජකාරි ඉටු කිරීමට සිදු වන සිදුවීම් මගින් හැඩගැසී ඇත.

අවසාන වශයෙන් මට අපේ ළමා කාලයේ අසා ඇති කවියක් කියන්නට ඉඩ දෙන්න.

මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ...
රැලේ රැලේ මූදින් දමන දිය රැලේ...
බලේ බලේ රාසිං දෙයියන්නේ බලේ...
ගලින් කොටුව බැන්දයි තිරිකුණාමලේ..."

නව නිළධාරීන්ගේ අනාගතයට සුභ පතනවා..
ඔබට තෙරුවන් සරණයි!