නිදහස් දින පණිවිඩය

පෙර මුතුන් මිත්තෝ අප අභිමානවත් ඉතිහාසය නිර්මාණය කළෝය. ඔවුන්ගේ දරු මුනුපුරන් වූ අප එය අර්ථවත්ව මතු පරපුරට දායාද කළ යුතු වෙමු.

විටින් විට විදේශීය හා අධිරාජ්‍යවාදී ආක්‍රමණවලට මුහුණ දී සංග්‍රාමයෙන්, ලෙයින් දහදියෙන්, අරගලයෙන්, බුද්ධියෙන් පෝෂණය වෙමින් ලද නිදහසේ 76 වන වසර අද අප සමරමු.

1818 හා 1848 ජාතික විමුක්ති සටන් හි සිට එවක් පටන් 1948 දක්වා ආගමික හා ගිහි ජාතික නායකයින් කළ චින්තන හා විප්ලවීය අරගල තුලින් 1948 දී අපි නිදහස ලදිමු. මේ මොහොතේ ඔවුන් අභිමානයෙන් සදානුස්මරණය කරමු.

එකී නිදහසෙන් පසුව වුවද 1956 ජනතා පෙරළිය, 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ලද පූර්ණ නිදහස, තිස් වසරක යුද්ධය නිම කරන්නට ජීවිත, ඇස්, ඉස් මස්, ලේ දන් දුන් රණවිරුවන් මේ මොහොතේ කෘතවේදිව සිහිපත් කළ යුතුය.

විසල් ආර්ථික අර්බුදයකට මුහුණ පා කෙමෙන් නැවත නිවැරදි ඉලක්කයට ගමන් ගන්නා වකවානුවක අපි මෙවර නිදහස් දිනය සමරමු. ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය හා නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළැඹෙමින් එම දුෂ්කර කඩ ඉම් අප පසු කරමින් සිටිමු.

මෙම අභියෝග ජයගෙන සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ අදිටන පෙරදැරිව ආර්ථිකයේ නව හැරවුමක් වන්නට 76 වන ජාතික නිදහස් දිනය සටහන් වනු ඇත.

එකී සටන් මත, නිදහස සුරකිමින් රටේ දියුණුව සහ ප්‍රගමනය වෙනුවෙන්, සැවොම එක්ව ඉදිරියට, දියුණුවට පියනගමු.


දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 පෙබරවාරී මස 04