ජයිකා ආයතනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ආධාර ලබා දෙන බවට සහතික වෙයි...

ජයිකා ආයතනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) විශේෂ උපදේශක ආචාර්ය Shinichi Kitaoka සහතික කරයි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සමග 2023.12.11 දින, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) විශේෂ උපදේශක ආචාර්ය Shinichi Kitoka මහතා මේ බව සඳහන් කළේය.

JICA හි හිටපු සභාපති ආචාර්ය Shinichi Kitaoka, අනාගත ආධාර වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කිරීම සහ සංවර්ධන අවශ්‍යතා සොයා බැලීම සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.

ආර්ථික අර්බුදය ජය ගැනීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ඒ මහතා මෙහිදී සතුට පළ කළේය. කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තය නඟා සිටුවීම, ග්‍රාමීය ප්‍රජාව සංවර්ධනය කිරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සම්බන්ධ සමාජ සේවා පුළුල් කිරීම සඳහා ජයිකා ආයතනය සිය සහාය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

1981 වසරේ සිට සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ ලබා දෙමින් රට පුරා පුළුල් පරාසයක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා JICA වෙත ඉහළ ප්‍රශංසාව පළ කරන බව මෙහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා නියෝජිත පිරිසට පැවසීය. ව්‍යවසායන් සහ ආපදා කළමනාකරණය පිළිබඳ මුලපිරීම් දියත් කිරීමෙන් රටේ සමස්ත ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ඉහළ නැංවීමට බොහෝ දුරට උත්සාහ කර ඇත.

ජපාන තානාපති Mizukoshi Hideaki, සහකාර ප්‍රධාන ලේකම් Tomoko ONO, JICA සභාපති කාර්යාලය, Tetsuya YAMADA, JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත, IMAI Kaori මෙනෙවිය, අග්‍රාමාත්‍ය උපදේශක සුගීස්වර සේනාධිර, සහ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරයා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය