අතීතයේදී තර්ජන තහංචි වෙනස් කරවාගෙන ඉදිරියට ගමන් කළ පෙරහැරක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

ඓතිහාසික නවගමුව පත්තිනි මහ දේවාලයේ අවසන් රන්දෝලි මහ පෙරහැරේ හස්තියා මත කරඬුව තැන්පත් කිරීම 2023.09.02 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණී.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

වසර 1800 කට වඩා පැරණි මෙම පෙරහර හා පුණ්‍ය කටයුත්ත එලෙස අඛණ්ඩ ඉදිරියට ගමන් කරන්න පුළුවන් වී තිබෙන්නේ එය උත්කර්ෂවත් දායාදයක් නිසයි. විවිධ පළාත්වලින් විවිධ සහයෝගයන් මෙම රජ මහා විහාරයට ලැබීමෙන් අපේ කලාවට විවිධ සංස්කෘතික අංගයන් එක්වීමෙන් වසරින් වසර ජාතික වශයෙන් සුවිශේෂ ගෞරවයකට ලක් වී තිබෙනවා.

නවගමු රජමහ විහාරය ප්‍රජා භූමියක් ලෙස පත් කිරීමටත්, එහි දියුණුව හා සංවර්ධනයට අඛණ්ඩව එක් වීමටත්, මේ ශත ශතවර්ෂය පුරා බොරලුගොඩ ගුණවර්ධන පවුලට එක් වන්න පුළුවන් වීම ඉතාම ගෞරවයෙන් හා කෘතවේදිව සිහිපත් කරනවා. මේ ශතවර්ෂය පුරා බොරලුගොඩ රාළහාමිගෙන් පටන්ගෙන එම කටයුත්තට විවිධ කාල පරිච්ඡේද වල ඇති වුණු තර්ජන තහංචි වෙනස් කරවාගෙන ඉදිරියට ගමන් කර වන්නට හැකිවීම පිළිබඳව ආඩම්බරයක් තියෙනවා.

ඉතිහාසයේ අමරණීය ස්ථානයක් අප හේවාගම් කෝරළයටම හිමියි. නවගමුවෙන් එහා කඩුවෙල කියන්නෙ නිකං හැදුන නමක් නෙවෙයි. කඩු වෙල, මහ සටනක්, මාතෘ භූමියේ නිදහස, සංස්කෘතිය, ආරක්ෂාව, අනන්‍යතාවය වෙනුවෙන් විදේශ හමුදාවත් සමඟ කරට කර හැපී ඔවුන් පළවා හරින ලද පළවෙනි ජාතිය හැටියට අපේ රට මේ ප්‍රදේශය අදත් සිහිපත් කරනවා. විදේශ හමුදාවක් පැමිණෙන අවස්ථාවක මුහුණ දුන් ඉතිහාසයේ කතාව ගඟෙන් එගොඩ, ගඟෙන් මෙගොඩ සමානව හැම ගමකම තැන්පත් වී සඳහන් වෙනවා.

මට මතකයි මම කුඩා දරුවෙක් ලෙස මගේ පියාත් සමඟ මේ සංස්කෘතික උත්සවයට පැමිණෙනවා. පෙරහැරට එනවා. එය අඛණ්ඩව සිදු වුණු දෙයක්.

අප රට අමාරුකම් ගණනාවක් හරහා ගමන් කළා. ඒ අමාරුම කාල පරිච්ඡේදයෙන් යළි රටවැසියාට ජයගන්නට පුළුවන් කාල පරිච්ඡේදයට විශ්වාසයෙන් අප පැමිණෙමින් තිබෙනවා.එය රටේ අනාගත දියුණුව අති වැදගත් වූ අවස්ථාවක්. ශිෂ්ට සම්පන්න ලෝකයකට, උතුම් ශිෂ්ඨාචාරයකට බුදු දහම දායාද කළා වූ මහඟු මගපෙන්වීම රටක් හැටියට, ජාතියක් හැටියට එය ආරක්ෂා කර ගැනීමෙහිලා අප කාගෙනුත් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කරන්නට අප බැඳී සිටිනවා.

නවගමුව රාජමහා විහාරාධිපති කල්‍යාණිවංශ ධර්ම සංඝ සභාවේ මහා නායක පූජ්‍ය මල්වානේ පඤ්ඤානන්ද හිමි, අනුනායක කොල්ලුපිටියේ වාලුකාරාම අධිපති පූජ්‍ය මහරගම නන්දසිරි හිමි, කල්‍යාණිවංශ ධර්ම සංඝ සභාවේ ලේකම් පූජ්‍ය ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජගත් කුමාර, ප්‍රේමනාත් දොලවත්ත, ජයන්ත කැටගොඩ, යදාමිණී ගුණවර්ධන ඇතුළු මහජන නියෝජිතයින්, දායක දායිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය