මේ මැතිවරණ වර්ෂයේ අපේ රට ඉදිරියට ගමන් කරවීමට පුළුවන් ශක්තිමත්ම බලවේගය ගොඩනවා. -මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ මේ ආණ්ඩුවේ බලවත්ම කොටස්කාරයා.

හිංසාවාදය ප්‍රතික්ෂේපකොට ප්‍රජාතන්ත්‍රවාදී, අවිහිංසාවාදී දේශපාලන බලයක් ගොඩනැගීමට එකතු වෙන්න.

ඒ ඒ අවස්ථාවේ තිබෙන ප්‍රධාන අභියෝගය ජයගැනීම සඳහා ඉතිහාසයේත් හවුල් ආණ්ඩු හැදුවා.

"රටේ අනාගතය හා අපේ වගකීම" මැයෙන් මහජන එක්සත් පෙරමුණ අද (2024.06.17) කිරිල්ලවලදී සංවිධානය කර තිබූ විශේෂ දේශනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

අපි එක්වන්නේ අපේ රටේ තීරණාත්මක අවස්ථා කිහිපයක් ජයගෙන ඒ වගේම අනාගත ශක්තිමත්ව ජයගැනීමට පුළුවන් ඒ විශ්වාසය ජනිත කළ අවස්ථාවකයි. ලෝකය පුරා කිසිම ආර්ථිකයක් ස්ථාවරව පවතින්නෙ නැති බව විවිධාකාර ආර්ථික ආකෘති නිර්මාණය කළ ලෝකයේ රටවල් ඔප්පු කර තිබෙනවා. විද්‍යාවේ දියුණුවත්, පර්යේෂණ වල දියුණුවත් ඒ වගේම ලෝක බල තුලනය අතර ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ කරන අරගලයත් මීට බලපානවා. ලෝකයේ අලුත් දේ සෙවීම තුළින්, අලුත් දෙයක් නිර්මාණය කිරීමට සෑම කඳවුරකටම කටයුතු කර තිබෙනවා. අපි කාලයකට පෙර දැක්කා ධනවාදයේ කඩා වැටීමත් සමාජවාදී රටවල් වල යෝද ඉදිරි ගමනත්. සෝවියට් රුසියාව එක්දහස් නවසිය දාහතේ සෝවියට් විප්ලවය ජයග්‍රහණය කරනකොට වැඩි දෙනා දුප්පත්කමින් ගොවිතැන් කරන ජනතාව ගොවිබිම් නැතුව විශාල සමාජ පරතරයකින් මහා විප්ලවකාරී පෙරළියකට යොමු වුණා. නමුත් එක්දහස් නමසිය හැත්තෑව පසු වෙනකොට සෝවියට ආර්ථිකය අද යුගයේ අභියෝගයට මුහුණ දෙන්නට විශාල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයකට පරිවර්තනය වෙමින් සිටින අවස්ථාවේ තමයි සෝවියට් දේශය හා එක්ව සිටි රාජ්‍යයන් කොටසින් කොටස ගැලී වී යාමට පටන් ගත්තේ. බටහිර රටවල් ආර්ථික වශයෙන් සෝවියට් රුසියාව හුදකලා කරන්නට උත්සාහ දැරුවා. ඒ අනුව රටවල් රාශියක් අලුතෙන් බිහිවුණා.

එ සෑම රටක්ම පොදුවේ ස්ථාපිත කළ ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට එම රටවල් වලට අද වෙනකොට පුළුවන් වෙලා තිබෙනවා. අප පාලනය කරන දේශපාලන ක්‍රමය කුමක් වුවද අපි ජයග්‍රහණය කළ මිනිස් සමාජයේ දියුණුව එලෙසම ආරක්‍ෂා කර ගැනීමට පුළුවන් වීම සඳහා විශේෂයෙන් අධ්‍යාපනයත් සෞඛ්‍ය සේවයත් ජීවය ලෙස ගෙන ආරක්ෂා කළ යුතුයි. චීන විප්ලවය වුණේ නවසිය හතලිස් නමයේ. අපේ රටට සුද්දන්ගේ පාලන තන්ත්‍රයෙන් නිදහස ලැබුණේ හතලිස් අටේ. හතලිස් නවයේ විප්ලවයේ ජයග්‍රහණයෙන් පස්සේ බොහෝ රටවල් චීනය ගණන් ගත්තේ නැහැ. චීනයට දියුණු වෙන්න බැරි බවට ප්‍රකාශයට පත් කළා. චීනය සමග ගනුදෙනු නැති කළා.

ඒ අතරේ අපේ ආණ්ඩුව චීනයත් එක්ක රබර් -සහල් වෙලඳ ගිවිසුමක් අත්සන් කළා. ඒ ආර්ථික ගිවිසුම කාලයක් පුරා පැවතුණා. චීනය මේ අවුරුදු හැත්තෑව තුළ ඇතිකරගත් මහා ආර්ථික යෝධ බව හැම ක්ෂේත්‍රයකම ඔප්පු කර තිබෙනවා. ගිය සතියෙත්, පෙර සතියෙත් චීනයේ විද්‍යාඥයින් හඳට ගමන් කළා. චීනය ඒ තරම් දියුණු රටක් බවට ලොව පුරා පර්යේෂණ කිරීමට හැකි ශක්තිය එම ආර්ථිකය ජනිත කර තිබෙනවා. විවිධ ආකෘතීන් සමාජ සංවර්ධනය සඳහා භාවිතා කිරීමේ ඕනෑකම අනුව අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම සෑම විටම වාදයක් බවට පරිවර්තනය වන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ. එක ආකෘතියකින් එලෙස ගමන් කළ හැකි ක්‍රියාමාර්ගයන්ට වඩා අපි දේශීයත්වය මුල් කරගත් අපේම ආකෘතියක් සකස් කර ගැනීමට කාල පරිච්ඡේදයකට පැමිණ තිබෙනවා අපේ ආර්ථික වර්ධනයට අපේ ආර්ථික වර්ධනය කියන්නේ කුමක් සඳහාද ආර්ථික වශයෙන් යෝධයෙක් වෙන්න නෙමෙයි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නයි .

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර එයින් ඇති කළ හැකි මහා විනාශය කිසිම රටක් දැක්කේ නැහැ. ලෝකයේ පොහොසත්ම රටක් වූ ඇමරිකාවෙ දහස් ගණනින් මිය මිය ගියා රූපවාහිනියෙන් අපි දැක්කා. අද ඒවා අමතකයි. තමන්ගේ රටේ ජනතාවට මේ පිළිබඳ කලින් තොරතුරු ලබාදෙන්නට අපොහොසත් වීම නිසා කොවිඩ් වසංගතය ලොව පුරා ගමන් කළා. එදා ජනතාවගේ ජීවත්වීම ශක්තිමත් කළ හැකි ආණ්ඩු අතර ශ්‍රී ලංකාව ලෝකයේ දහවෙනි ස්ථානයට පත්වුණා. වඩාත් සාර්ථකව තම ජනගහනය ආරක්ෂා කළ රටක් බවට පරිවර්තනය කළා. නමුත් ලෝකයේම ආර්ථිකය පසුබැස්සා. වැඩපොළවල් වැහුනා. නිදහස් වෙළඳ කලාපය වැහුනා. අපනයනයන් කඩා වැටුණා. හැම රටකටම ලෝකයේ මේදේ සිද්ධ වුණා. ගනුදෙනු කිරීම ඇණහිටියා. ප්‍රවාහනය, වෙළඳාම ජාත්‍යන්තරව කෙරුණු ගනුදෙනු අඩපණ වීම නිසා ලෝක ආර්ථිකය විශාල පසුබෑමකට ලක්වුණා. ලෝකයේ ආර්ථිකාධිපත්‍යවාදය නිසා තමන්ට ආර්ථික ඉතිරිය වැඩියෙන් තිබුණු රටවල් මේ අර්බුදයෙන් ඉක්මනින් ගොඩ ආවා. ආර්ථිකයේ විදේශ ඉතිරිය නොතිබූ රටවල් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. අනිත් රටවල් වගේම අපේ රටටත් ඊට ගෝචර වන්නට සිදුවුණා.

අපි කිසිවෙකු ඉපදිලාවත් නැති කාලෙ ඉලෙක්ට්‍රසිටි කොමිෂන් , විදුලි කොමසාරිස් කියලා දෙයක් සුදු ආණ්ඩුව කාලෙ තිබුණා. ඊට පස්සේ විදුලි බල දෙපාර්තමේන්තුව ඇති කළා. මේ සියලු අත්හදා බැලීම් අපි කළේ අපට පෙන්වන ලද ආකෘති මතයි. අපිම නිර්මාණය කළ ආකෘතීන් ඇතිකර ගැනීමට අපට හැකියාවක් ඇතිකර ගැනීම අපහසු වූ නිසා ඒ ආයතන සියල්ල ඇති වෙනකොට විරෝධයක් වගේම අසාර්ථක වෙනකොට විරෝධයක් වැනි දේට අපට මුහුණ දෙන්නට සිද්ධ වුණා. 1960 ගණන්වල විදුලි බල දෙපාර්තමේන්තුව විදුලිබල සංස්ථාවක් බවට පත්වුණා.

ස්වදේශික නිෂ්පාදනයන් පසුගිය අවුරුදු පනහ තුළ අපේ වෙළඳපළේ ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ස්වදේශික රාජ්‍ය නිෂ්පාදන වගේම ස්වදේශික පෞද්ගලික නිෂ්පාදන නිසා අපේ ආර්ථිකය අසල්වැසි රටවල් වගේම බොහොම තරගකාරී තත්ත්වයකට පරිවර්තනය වුණා. වඩාත් කළමනාකාරීත්වයෙන් සහ නිෂ්පාදනය වඩාත් දියුණු තත්ත්වයෙන් පරිවර්තනය කර ගන්නට අවශ්‍ය ජාත්‍යන්තර වෙළඳපලට අප ඇතුළු විය යුතුයි. අපේ වෙළඳපළ පමණක් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ගොඩනැංවීමට තවමත් මදි කියන එකයි සියලු නිගමනයන් ඔප්පු කරන්නේ. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අපේම කර්මාන්තයන් ජාත්‍යන්තරවත් ගොඩනගමින් රජයටත් වඩා පෞද්ගලික අංශය තුළ ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට ශක්තිමත් කිරීමට කැඳවා ගැනීමේ ඕනෑකම කුමන ආර්ථිකයක් යටතේ හෝ තිබෙනවා. චීනය දිහා බැලුවත් පෞද්ගලික අංශයක් සහ රාජ්‍ය සේවයක් තිබෙනවා. එහි තරගකාරී තත්ත්වය ඇති කර තිබෙනවා.

වර්තමාන ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික අර්බුදය වෙනදට වඩා අමාරුයි. විදේශ ණය කිසි දවසකට වඩා ඉහළටම නැග්ග අවස්ථාවක අපි සිටින්නේ. විදේශ පෞද්ගලික ණයකරුවන්ද එලෙසම ශ්‍රී ලංකාවට ණය සපයලා තිබෙනවා. ජාත්‍යන්තර ණය වෙළඳපොලේ බොන්ඩ්ස් අපි මිලයට ගත්තොත් යම්කිසි කාලයකින් පස්සේ ගෙවන්න ඕනේ. එතන හිර වුණාම ඔවුන් තර්ජනය කරන්නේ අපේ රුපියල වේගයෙන් බාල්දු කිරීමට පරිවර්තනය කර ගැනීමටයි. මෙවැනි අර්බුද වල උත්සන්න භාවයන්ගේ එකතුව තමයි අපි දැක්ක ආර්ථික කඩා වැටීම.

අපි තෙල් නිෂ්පාදනය කරන රටක් නෙවෙයි. අපේ රටට අවශ්‍ය තෙල් අපේ මහපොළොවෙන් ලබා ගත්ත රටක් නෙවෙයි. තවමත් තෙල් ගේන්න වෙලා තියෙන්නේ පිටරටින්. ඉරාන රජය ශ්‍රී ලංකාවට අලුතෙන්ම තෙල් පිරි පහදුවක් සකසා දෙන්න එකඟ වෙලා තිබුණා. අපේ ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස අපි තෙල් වෙළඳපල මාෆියාවකට ගොදුරු වෙලා සිටිනවා. මේ තෙල් වෙළඳපොල මාෆියාවෙන් ගොඩඑම අපිට විශාල අභියෝගයක්. පිටරටින් තෙල් ගේන්න වියදම් කරන මහා මුදල අපේ රටේ ආර්ථිකයට විශාල බරක්. ඒ වෙනුවට අද විවිධ ආකාරයෙන් සූර්යතාපය, සුලංබලය ආදී විවිධ මාර්ගවලින් අප ස්වභාවික අමුදුව්‍ය බලශක්තිය බවට පරිවර්තනය කරලා විදුලි බලය ලබාගන්න පුළුවන්.

මේ ඉලක්කයට අපි ගමන් කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කෙටි කාලය උත්සාහ දරුවා. නමුත් අපේ රටට ප්‍රමුඛතාවය ගෙන එන්නට තිබෙන ගැටුමක් බවට හැමතිස්සෙම පරිවර්තනය කරගත්ත ගැටළුව නිසා ඒ තීරණ කල් ගියා. ඒ වෙනුවට ජල විදුලිය අඩු කාලෙට තෙල් විදුලිය. තෙල් වලින් තමයි විදුලිය නිෂ්පාදනය කලේ මෙය රටකට ඔරොත්තු දෙන පිළිවෙතක් නොවේ. අපිට ජලය මගින් විදුලිබලය නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිමයක් තිබෙනවා. නමුත් සූර්යතාපයෙන් සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්නට ඊටත් වඩා බොහෝ විට අඩු මිලකට පුළුවන්. ඒ සඳහා පිවිසීම තවම ප්‍රමාද කර තිබෙනවා. මේ අභියෝගය අපි ජයගත යුතුමයි. මේ අභියෝගය ජයගන්නට බැරි වුණොත් අපේ කර්මාන්ත වර්ධනය අපි බලාපොරොත්තු ප්‍රමාණයකට ඇති වෙන්නේ නැහැ. කර්මාන්ත වර්ධනයට අවශ්‍ය විදුලි බලය අඩුවට ලබාදෙන්න පුළුවන් වුණොත් කර්මාන්ත ක්ෂේත්‍රයට අපේ රටේ සෑම අංශයකටම අලුතෙන් ආයෝජනය කර දියුණු වෙන්නට පුළුවන් වෙළඳපළකට පිවිසෙන්නට හැකියාව ලැබෙනවා.

අපේ රටේ ගොවි ජනතාව කෙරෙහි ආණ්ඩුව හැටියට අපි දැවැන්ත විශ්වාසයක් තිබ්බා. ආහාර අර්බුදයක් තිබුණා. නමුත් අපේ රටේ ගොවි ජනතාව තමන්ගේම නිදහස ඇතුව සේවා සැපයුම් ටික ලබාදීමෙන් නිෂ්පාදනයේ අතිරික්තයක් ලබාදුන්නා. විදේශ රටවල්, විදේශ ආයතන, ණය දෙන ආයතන අප හමු වූ විට පළකළ පළමු විශ්වාසය තමයි ඔබ රටේ ගොවි ජනතාව ඇති කර තිබෙන නිෂ්පාදනීය අස්වැන්න ගැන ඇති විශ්වාසයයි ප්‍රශංසාභාවයයි. ඉක්මනින් ආර්ථික වශයෙන් හිස එසවිය හැකි රටක් බවට විශ්වාසය ගොවි ජනතාව ප්‍රකාශ කර තිබෙනවා. අලුත් නිෂ්පාදන මාර්ග අලුත් ඉලක්කයන් සපුරාලීමට හැකි ආර්ථිකයේ වෙනස්කම් ඇතිකරගෙන ඒ තුළින් ලබාගත හැකි අලුත් අවස්ථා අලුත් ආදායම් ලබන දේශයක් බවට අපේ රට පරිවර්තනය කරගන්නට පුළුවන්. ඒ සඳහා අපි විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණවලින් ගොඩ නැගී තිබෙන ක්ෂේත්‍ර කෙරෙහි යොමුවිය යුතුයි. අපේ නව පරම්පරාව දැනුම පර්යේෂණ වලට යොමු කරන අධ්‍යාපනයේ අලුත් ඉලක්කයන් ඇති කිරීමට පුළුවන්කම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වෙනුවෙන් අප ආරම්භ කර තිබෙන අලුත් වැඩසටහන් සියල්ල ඉලක්ක කරන්නේ එවැනි අලුත් දොරටු රාශියක් විවෘත කිරීමයි.

තේ, පොල් හෝ රබර් වලින් පමණක් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වැඩෙන්නේ නැහැ. ඇඟලුම් කර්මාන්තය සියයට අනූවක් අමුදුව්‍ය ගේන්නේ පිටරටින්. නමුත් අපේ හැකියාවේ ශක්තිය මත අතිරික්තයක් විදේශ විනිමය උපයන්නට පුළුවන් බව ශ්‍රී ලංකාව ලෝක වෙළඳපළේ ඔප්පු කළා. අලුතෙන් විවිධ ක්ෂේත්‍රවල දොරටු ආරම්භ කළොත් අපේ රට ආර්ථික වර්ධන වේගය වඩාත් ශක්තිමත්ව තවත් වේගවත් කරන්නට පුළුවන්. ආර්ථික වර්ධන වේගය වගේම මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට අපේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවට තමන් විඳින අමාරුකමින් ගොඩ එන්නට පුළුවන් මාර්ගයන්ද සහනයක්ද සැපයිය යුතුමයි. විශාල පිරිසක් ජනගහනයෙන් දිළිදු බවින් පෙලෙනොනම් එය ජයග්‍රහණයක් නෙවේ. දිළිඳු බවෙන් පෙළෙන ජනතාවට වැඩි වැඩියෙන් අවස්ථාවන් සහ සහනයන් සපයා දීමේ වගකීමට රජය බැඳී සිටිනවා. රජයක් හැටියට ඉලක්ක ගත ආර්ථික සංවර්ධනයක නිරත වීමේ ඕනෑකම අපි අද ඉතාම ඕනෑකමින් අපේ ආර්ථික රාමුව තුළ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මහජනයාට අමාරුකම් රාශියක් තියෙනවා. ඒ බව අපි පිළිගන්නවා. ආර්ථිකය ලිහිල් කරමින් වර්ධනය කර ගැනීමට පුළුවන් තත්ත්වයට අද පැමිණ තිබෙනවා. අද අපේ රට ජාත්‍යන්තර ගනුදෙනු කරන්න පුළුවන් රටක් බවට ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා. අවුරුදු දෙකකට කලින් අපේ රට ගනුදෙනු කරන්න පුළුවන් තත්වයක් හැටියට ජාත්‍යන්තරය පිළිගත්තේ නැහැ. මෙය අප මුහුණ දුන් බරපතළ ප්‍රශ්නයක්. මූලික පිළිගැනීම් ජයගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගය අති විශේෂයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලේ එවකට තිබූ පුද්ගලික බැංකුව ජන සතු කරලා ලංකා බැංකුව ඇති කළා. අපේ රටේ ආර්ථික දියුණුව සඳහා ගමන් කරන්නට ඒ වගේම මහජන බැංකු පනත සම්මත කරලා මේ රටේ මහජන බැංකුව අපේ බැංකුවක් ලෙස ඇතිකළා. ආර්ථික ආයෝජන, ණය ගැනීම් විවිධ අවස්ථාවල ඇතිවන විවිධ ව්‍යාපෘතිවලට මේ යෝද බැංකු කර ගැහුවා. මේ බැංකු දෙකට අමතරව තවත් බැංකු විස්සක් අද රටේ ඇතිවෙලා තිබෙනවා. බැංකු ක්ෂේත්‍රය ලබන ජයග්‍රහණ වගේම බැංකු ක්ෂේත්‍රයට ලබා දිය හැකි ජයග්‍රහණයක් වැඩි වෙන්නට ඕනේ. අස්වසුම ක්‍රියාත්මක කරන්න හදනකොට බැංකු ගිණුමක් නැති කාන්තා පාර්ශ්වය සියයට පනහයි. බැංකු ක්‍රමය වර්ධනය වුණා කියන තැන ඒ අවස්ථාවේදී හොයා ගන්න පුළුවන් වුණා. බැංකු ගිණුමක් ලේසියෙන් අරින්න දෙන්නේ නැතුව විවිධ කොන්දේසි නීතිරීති රාශියක් බැංකු හදාගෙන තියෙනවා. වෙනත් රටවල ඕනම වෙලාවක බැංකු ගිණුමක් අරින්න පුළුවන්. බැංකු ගිණුම් වලින් ගනුදෙනු කිරීම බොහොම පහසුවක් ඇති කරන, වේගය වැඩි කරන තරමට අපේ ආර්ථිකයේ මුදල් සංසරණය පමණක් නොව ප්‍රසාරණය ප්‍රයෝජනවත් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ලංකාවේ ජනගහනයෙන් සියයට පනහයි දශම එකක් කාන්තා පාර්ශවය. අපේ මව්වරු සහෝදරියන් දෙසබලා අපේ රටේ බැංකු ක්‍රමය තවත් අවදි විය යුතුමයි. අලුත් ව්‍යාපාරවලට, අලුත් ආයෝජනයන්ට, අලුත් පුහුණු පාට මාලාවන් තුළින් ඇති කරන ව්‍යාපාරික ක්ෂේත්‍රයට ඈත එපිට ගම් දනව්වල ජනතාවට එකතු වන්නට ලැබෙන්නේ අපේ බැංකු ක්ෂේත්‍රය හරහා .

ආණ්ඩුව වගේම ආණ්ඩුව හරහා ඇති කර තිබෙන ආයතන එලෙස වේගවත්ව පරිවර්තනය කිරීමේ ඉලක්ක කරා අප ගමන් කරමු. දැනට තිබෙන තත්ත්වයන් වෙනස් කරමින් එම ඉලක්කයන් කරා ගමන් කිරීම සඳහා අධිෂ්ඨානයෙන් ආණ්ඩුවට ශක්තිමත්ව ගමන් කිරීමට පුළුවන් තත්ත්වයක් ජනතා ශක්තියක් අවශ්‍යයි. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ මේ ආණ්ඩුවේ බලවත්ම කොටස්කාරයා. ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තමයි අපේ පාර්ලිමේන්තුවේ රටේ බලවත්ම කොටස්කාරයා. මම අග්‍රාමාත්‍යවරයා හැටියට එය ප්‍රකාශ කිරීම සත්‍යයි. ජනාධිපතිතුමා අපි පත් කරගත්තා. නමුත් පාර්ලිමේන්තුව අවශ්‍යයි නීතිරීති හදන්නා. මූල්‍ය නීති සම්මත කරන්න පාර්ලිමේන්තුව අවශ්‍යයි. පාර්ලිමේන්තුව සම්මත කරන විවිධ මූල්‍ය නීති තමයි ජාත්‍යන්තරව වලංගුභාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අපේ මන්ත්‍රී කණ්ඩායම සහෝදර පක්‍ෂ මහජන එක්සත් පෙරමුණ ඊ. පී. ඩී. පී. පක්ෂය ආණ්ඩුව ඇතුළෙ තියෙන සියලු පක්ෂවල එකමුතුවෙන් අපට මේ රට යළිත් ගොඩනගන්නට පුළුවන් අවස්ථාවකට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ පුළුවන් වුණා.

අපි හිංසාවාදය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය හා හිංසාවාදය අතර සදා මිත්‍රත්වයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට පවතින්න නම් හිංසාවාදය පරාජයට පත් කළ යුතුයි. හිංසාවාදය ජයග්‍රහණය කරනවනම් ප්‍රජාතන්ත්‍රවාදය මැරී යනවා. එවැනි අර්බුද කාලය නියෝජනය කරන දේශපාලනය ජනතාව විසින් බොහොම ගැඹුරින් සිතා ප්‍රතික්ෂේප කොට ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී දේශපාලන බලය රටේ නියෝජිත තත්ත්වය හරහා ක්‍රියාත්මක කිරීමට එකතු වෙන්න. පළාත් පාලන ආයතන වල සේවය කළ අස්ථිර සේවකයන් ස්ථිර සේවකයන් බවට පරිවර්තනය කළා. රටේ ආදායමෙන් අප ජීවත් වන මුදලින් අපට ඒ ආවරණය කරන්නට පුළුවන් ප්‍රමාණය තුළ භාණ්ඩාගාරය ආවරණය කරනවා. විදේශ ආදායමෙන් උපයන මුදල් එවැනි කටයුතු සඳහා යොදා ගැනීමේ දුෂ්කරතාවයක් තිබෙනවා. දේශීය ආදායම් මාර්ග ප්‍රයෝජනයට පරිවර්තනය කර ගැනීමට අද හැකියාවට පැමිණ තිබෙනවා. එවැනි තවත් විවිධ ක්ෂේත්‍රවල මුහුණ දෙන සේවක ගැටලු විවිධ ක්ෂේත්‍ර වලට අඛණ්ඩව බලපාන ගැටලු ඉක්මනින් විසඳිය යුතුයි. සංවර්ධනය වන රටවල් වල ආර්ථික වර්ධනයකදී අඩු ආදායම් ලබන ජනතාවගේ ප්‍රමාණය අඩුකර ගැනීමෙන් ආර්ථික වර්ධනය වැඩිකර ගැනීමේ ඉලක්කයට ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා. මේ අභියෝගය ද අප ජයගත යුතුමයි. ආර්ථික වර්ධනයේදී නිෂ්පාදනය හා සේවාවට හවුල් වෙන ප්‍රමාණයන් වැඩි කර ගනිමින් අපේ ආදායම අඩු පිරිස අඩු කර ගනිමින් රට ඉදිරි සංවර්ධනයකට දියුණු මාර්ග කරා ගෙන එන්නට පියවර ගත යුතුයි.

හැමදාම තිබුණෙ හවුල් ආණ්ඩු තමයි. ආයි අලුත් එකක් කියලා හිතන්න එපා. ඩී. එස්. සේනානායක මහත්තයා නවසිය හතලිස් හතේ හවුල් ආණ්ඩුවක් හැදුවා. එක්සත් ජාතික පක්ෂ තමයි ලොකු පක්ෂය. ඒ කාලෙ ආණ්ඩුව තියාගන්න බැරි වුණහම පොන්නම්බලම් මහත්තයාව ගත්තා. ආණ්ඩුව බහුතරයක් හදා ගත්තා. ඩී.එස්.සේනානායක මැතිතුමාගේ වියෝවෙන් පස්සේ ඩඩ්ලි සේනානායක අගමැතිතුමාටත් එහෙම තත්ත්වයක් උදාවුණා. පාර්ලිමේන්තුවේ ශක්තිය තිබුණට රටේ ජනතාවගේ අමාරුකම් වැඩිවෙලා කෝච්චි ගාස්තු වැඩි කරනකොට විවිධ ආර්ථික අර්බුදයක් ඇතිවෙනකොට මුළු මහත් සමාජයඅම තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන දේට ආණ්ඩුවට මුහුණ දෙන්න බැරුව ගියා. ඒ අවස්ථාවේ සර් ජෝන් කොතලාවල මැතිතුමා ආණ්ඩුව භාර ගත්තා. උතුරේ මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගියා. මම මේ කෙමෙන් කියන්නේ අපේ රටේ ස්ථාවර ජනතීන්දුවක් ප්‍රකාශයට පත් කරපු අවස්ථාවල හැර අනෙක් සෑම කාලයකම අපි හවුල් ආණ්ඩු තමයි පවත්වුණේ. එක්කෝ හවුල් පෙරමුණු බලය ගන්න, බලය ගත්තට පස්සේ බලය තබා ගැනීමට, හවුල් ආණ්ඩු හැදුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිද්ධ වුණා යුද්ධය ජය ගන්න කරූ ජයසූරිය මහත්තයා ඇතුළු 19 දෙනෙක් මෙහා පැත්තට ගන්න. අමතක කරන්න එපා. දහනව දෙනෙකුට ආණ්ඩුවෙ ඇමතිකම් දීලා තමයි ආණ්ඩුව ගෙනිච්චේ යුද්ධ තියෙන කාලේ. අපි බොහොම ඉක්මනට ඉතිහාසයන් අමතක කරනවා. සමහර වෙලාවට හවුල් ආණ්ඩු ගොඩනගන්න වෙනවා. හවුල් ආණ්ඩුවලින් ප්‍රතිඵලයක් ඇති කිරීමේ කර්තව්‍ය එදිනෙදා ඒ අවස්ථාවේ තිබෙන ප්‍රධාන අභියෝගය ජයගැනීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ගයන් හැටියට ක්‍රියාත්මක වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමයි සිරිසේන මැතිතුමයි අතරත් හවුල් ආණ්ඩුවක් තිබ්බනෙ. හවුල් ආණ්ඩු පැහැදිලි වැඩපිළිවෙලක් හැටියට ගොඩනඟා ගමන් කරන්නට බැරි නිසයි කඩා වැටෙන්නේ. දේශපාලන පෙරමුණු, දේශපාලන හවුල් පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටත සමාජයේත් තිබෙනවා. අලුත් බලවේග බිහිවෙනවා. අලුත් ඕනෑකම වටා එකතු වූ පිරිස් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් මතුවෙනවා. ඒවා දේශපාලන පක්ෂ නොවුනත් සමාජය පිළිගත යුතු බලවේග ලෙස සාකච්ඡාවට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍යයි. තරුණයින්ට අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපන ආයතන වලින් පස්සේ අතිරේකව වෘත්තීය පුහුණු ආදියේ ලොව වෙළඳපළේ ඉල්ලුමක් තිබෙන ක්ෂේත්‍රවලට සුවිශේෂ පුහුණුවක් ඇති නව වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. තරුණ තරුණියන් තමයි අපේ අනාගතය. ඔවුන්ගේ දක්ෂතාවයන්ට ඉඩ ලැබෙන වැඩපිළිවෙළක් එක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

අප මේ මුහුණ දෙන්නේ මැතිවරණ වර්ෂයකටයි. අපි විශ්වාස කරනවා මේ මැතිවරණ වර්ෂයේ අප ගොඩනගාගෙන තිබෙන ශක්තිය මත අපේ රට ඉදිරියට ගමන් කරවීමට පුළුවන් ශක්තිමත්ම බලවේගය ගොඩනගන්න. රටේ අනාගතය සඳහා රටේ ජනතාවගේ අනාගතයේ ආරක්ෂාව සඳහා, මාතෘ භූමියේ ස්වාධීනත්වය සඳහා ආර්ථික වර්ධනය ඇති කරමින් රට ඉදිරියට ගමන් කිරීම සඳහා ශක්තිමත් බලවේගයක් අවශ්‍යයි.

එහිදී අදහස් දැක්වූ මහජන එක්සත් පෙරමුණේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි -

අපේ රටේ ස්වෛරී භාවය වෙනුවෙන් ඉදිරියට ගිය, රටේ ස්වාධීනත්වය වෙනුවෙන් සුවිශාල පරිත්‍යාගයන් කරපු ජාතික විරුවන් වැස්සකගේ උරුමයක් අපේ මාතෘ භූමිය තුළ තිබෙනවා. ඔවුන්ගේ දහඩිය කඳුළු අපේ රටේ ස්වයංපෝෂිත කලා. 71.88.89 විවිධ කැරලි කෝලහල, අසූ තුනේ ජූලි කෝලාහලය, 1994 වෙනකොට සුනාමි වූවදුර වැනි විවිධ දුෂ්කරතාවලට අපි රටක් විදිහට මුහුණ දුන්නා. විවිධ අභියෝග විවිධ දුෂ්කරතා තිබුණා. තිස් අවුරුද්දක කාලයක් මහ යුද්ධයකට පැටලිලා තිබුණා. අපේ රටේ අලුත් පරම්පරාව යුද්ධයක් තිබුණද කියලා දැන් අමතක කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ සේනාධි නායකයා විදියට ඊට සුවිශාල නායකත්වයක් දුන්නා. දිනේෂ් ගුණවර්ධන ප්‍රධාන අපේ රටේ නායකයෝ අපේ රටේ රණවිරුවන් කරපු අසීමිත පරිත්‍යාගයන් සමග මාතෘ භූමියේ එකීය භාවය වෙනුවෙන් ඒ ජයග්‍රහණය සඳහා සුවිශාල කැපකිරීම් කළා. රට රැක ගත්තා. නිදහස ලබලා අවුරුදු හැත්තෑවක කාල පරිච්ඡේදය තුළ සියල්ල ජයග්‍රහණය කළ ජාතියක්.

පසුගිය කාළේ අපේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා. සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේතු අභියෝග රාශියකට ලක්වුනා. කොවිඩ් වසංගතය හමුවේදී අපේ රටේ බොහෝ පිරිස් කිව්වේ බඩගින්නෙ හිටියට කමක් නෑ ආර්ථිකය විනාශ වුණාට කමක් නෑ රටේ ජීවිත බේරගන්න කියලයි. දීර්ඝ කාලයක් රට වැහුවොත් දරන්න බැරි ආර්ථික පරිහානියක් වන බව ජනාධිපතිවරයා එදා කිව්වා. පිට රටවල සේවකයෝ ලංකාවට එන්න උත්සාහ කළා. මාස තුනක් ඇතුළත ලක්ෂයකට වඩා පිරිසක් ලංකාවට ගෙන්න ගන්න එවකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කළා. සංචාරක ව්‍යාපාරයේ ආදායම අහිමි වුණා. ඩොලර් හිඟය ආර්ථික පරිහානිය ඇතිවෙන්නේ ඔන්න ඔතනින්.

කොවිඩ් වසංගතයත් එක්ක විදේශ විනිමය රටට ගලා ඒම නැවතුනා. අනිත් පැත්තෙන් අපි සහනාධාර දුන්නා. රුපියල් 5000 හඳුන්නේ කොහොමද කියලා අපි දන්නවා. හැම රෝගියෙකුටම රුපියල් පහළොස් දහසකට අධික බඩු මල්ලක් ලබා දුන්නා. ලෝකයේ රටවල ජනතාව ලක්ෂ ගණණින් මරණයට පත්වේත්දී අපේ සෞඛ්‍ය සේවයට පුළුවන් වුණා මරණ ප්‍රමාණය 15000 කට අඩු කරන්න. දේශීය වෛද්‍ය විද්‍යාවේ දැනුමත්, පාරම්පරික වෙදකමත්, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දැනුමත් සංකලනය වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිය නිසා එක පැත්තකින් අපේ ජීවිත බේරගන්න පුළුවන් වුණා. එදා ගෙවල් ලක්ෂයකට සුවදරණී මංජුසාවක් අපි ලබා දුන්නා. පිට පළාත්වල මන්ත්‍රීවරුන් අපිට දුන්නේ නෑ කියල චෝදනා කළා. පුළුවන් හැම ගේකටම සුවදරණි මංජුසාව ලබා දුන්නා.

වර්තමාන ජනාධිපතිතුමා පසුව ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න රට භාර ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකට ගැට ගසාගෙන පාර්ලිමේන්තුවේ බලය ශක්තිය එකතු කරලා මේ රට සංසුන් කරලා ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා ඒ පාර්ලිමේන්තු ශක්තිය එකතු කරන්නට නායකත්වය දුන්නේ අග්‍රාමාත්‍යවරයා. අර්බුදය යම් තරමකින් සමනයකට පත්වන අවස්ථාවකයි අපි ඉන්නේ. අපේ රටේ මිනිස්සු ඉතාම ආත්මාර්ථකාමී කණ්ඩායමක්. එහෙම කාලයක් තිබුණද කියලවත් මතක නැහැ. තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හිතන්නේ නැති පිරිසක් බවට අපේ අලුත් පරම්පරාව පත්වෙලා. යහපත් ගුණ අපේ අලුත් පරම්පරාවට නැති වීම කණගාටුදායක තත්ත්වයක්. කතා කරන්නේ මහා ගුණධර්ම සමාජවාදය. ගන්න වැටුපට මහජනතාවට සේවය ඉටු කරන්න බැහැ. ඔන්න මානව හිතවාදය. අපේ සමාජය අද තමුන්ගේ යුතුකම් පිළිබඳ කතා විතරයි. තමන්ගේ යුතුකම් ඉටු නොකර අයිතිවාසිකම් පමණක් කතා කරනවා.

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ සහ රෝහල්වල සේවකයින්ගේ වෘත්තීය සටනක් අද තිබෙනවා වෘත්තීය සමිති ඇතුලේ ඒකම දේශපාලන කණ්ඩායම් අතර ගැටළු මතුවෙලා. රටක ප්‍රශ්න විසඳද්දී පොදු මහජනතාව අතර සුසං යෝගයක් අවශ්‍ය වෙනවා. හුදෙකලා වෙලා වැඩ කරන්න ලෝකයේ කිසිම කෙනෙකුට බැහැ. අඩු පාඩු තිබුණත් පොදු පරමාර්ථ වෙනුවෙන් සමස්ත ජයග්‍රහණය ඉලක්ක කරගෙන අරමුණු වලට ගමන් කරන්නට සිද්ධ වෙනවා. ඒක බොහොම ස්වභාවික දෙයක්. අපි මේ මුහුණ දෙන අභියෝගයන් විසඳීම සඳහා රටක් විදිහට වඩා බරපතලව බුද්ධිමත්ව කටයුතු කළයුතු යුගයක අප පසුවන්නේ.

ජනාධිපතිවරණය පිළිබඳ විවිධ යෝජනා මේ දිනවල ඉදිරිපත් වෙනවා. විවිධ ජනාධිපති අපේක්ෂකවරු කරළියට පැමිණෙනවා. ඒ බොහෝ අය උතුරු නැගෙනහිරට වැඩිපුර යනවා. ගෝඨාභය මැතිතුමාට දකුණේ ජනතාව දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ ජයග්‍රහණය රැක ගන්න බැරි වුණත්. දැන් උතුරේ ඡන්ද තීරණාත්මක බලපෑමක් බව බොහෝ අපේක්ෂකයෝ තීරණය කරනවා. උතුර දකුණ විතරක් නෙවෙයි ලන්ඩන් වලටත් කැනඩාවෙ ඩයස්පෝරාව ඇවිල්ලා සංදේශ භාරදෙනවා. කවුරු ජනාධිපති වුණත් ජනාධිපති අපේක්ෂකයෝ වුණත් මේ රටේ සමස්ත ජනතාව එක දෙයක් තීරණය කරලා තියෙනවා. ව්‍යවස්ථාවෙන් අපට උරුම කර තිබෙන ඒකීය භාවය කියන වගන්තියට හානි කරන කිසිම බලවේගයකට මේ රටේ පැවැත්මක් නැහැ. දේශපාලන ව්‍යාපාර විදිහට අපි ඒකට ඉඩ දෙන්නේත් නැහැ. මේ රටේ ඒකීයභාවයත් බුද්ධ ශාසනයට හිමි ස්ථානයත් සුරකමින් සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාවගේ අයිතිවාසිකම් රැකෙන වැඩ පිළිවෙළකට අපේ රට ගමන් කළ යුතු වෙනවා. පොදු මහජන බලවේග, රටට ආදරය කරන බලවේග, දේශප්‍රෙමී ජාතික බලවේග එකතුවෙලා එම කොන්දේසිය මත තමයි ඊළඟ ජනාධිපතිවරයා කවරෙක්ද යන තීරණය ගැනීම සඳහා වූ වගකීම පැවරෙන්නේ

ලෝකය දැවැන්ත ලෙස දියුණු වෙනවා. අසල්වැසි ඉන්දියාව චීනය දැවැන්ත ආර්ථික ජයග්‍රහණ ලබනවා. අලුත් සමාජ ආර්ථික ප්‍රතිසංස්කරන අපේ රටට ඕනේ. සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණත් එක්ක අලුත් දියුණු සමාජයක් කරා ගමන් කිරීමට අවශ්‍ය නිරවුල් මග පෙන්වීමක් රටට අවශ්‍යයි.

දේශීය වෛද්‍යය පූජ්‍ය අමුණුගම නන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභික මහාචාර්ය නන්ද ධර්මරත්න, මහජන නියෝජිතයින්, සහ පාක්ෂිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.